Impartial news reporting for a stronger democratic society
කොළඹ මහ නගර සභාවෙන් රු. කෝටි 103ක බදු පොල්ලක් ! දේශීය ආදායම් කොමසාරිස් නඩු දමයි

කොළඹ මහ නගර සභාව (CMC)  වසර තුනක කාලයක් මුළුල්ලේ රුපියල් කෝටි 103 කට අධික එකතු කළ අගය මත බදු (VAT) මුදල් රජයට ගෙවීම පැහැර හැර ඇති බව පවසමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා ,කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම බදු පැහැර හැරීම සිදුව ඇත්තේ 2019 වසර දක්වා වූ වසර තුනක කාලසීමාවට අදාළව බවයි.
මෙරට ප්‍රධානතම සහ ඉහළම ආදායම් ලබන පළාත් පාලන ආයතනයක් වන කොළඹ මහ නගර සභාව, මහජනතාවගෙන් සහ විවිධ සේවාවන්ගෙන් එකතු කැර ගන්නා ලද බදු මුදල් මෙලෙස නිසි පරිදි භාණ්ඩාගාරයට බැර කැර නොමැති බව විගණන පරීක්ෂණවලදී ද අනාවරණය වී ඇත.

විත්තිකරුවන් සහ අධිකරණ ක්‍රියාමාර්ගය:

මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස කොළඹ මහ නගර සභාව නම් කැර ඇති අතර, නඩුකරය ඉදිරියේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි ඉදිරියේ කැඳවීමට නියමිතව ඇත.
රටේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය ආදායම් තර කැර ගැනීමට බදු පැහැර හරින්නන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජය ලබා දී ඇති උපදෙස් මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම දැඩි තීරණයට එළඹ තිබේ.
මීට පෙරද අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව නගර සභා බලධාරීන් දැනුවත් කැර තිබුණද, ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුව ඇති බව වාර්තා වේ.
රාජ්‍ය ආයතනයක් තවත් රාජ්‍ය ආයතනයකට එරෙහිව මෙවැනි දැවැන්ත මූල්‍ය චෝදනාවක් මත නඩු පැවරීම සුවිශේෂී තත්ත්වයකි.(source- The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp