Impartial news reporting for a stronger democratic society
ඉරානයට එරෙහි අමෙරිකා – ඊශ්‍රායල යුද්ධයේ වීඩියෝ දර්ශන බෙදාහැරීමේ සැකයට මාධ්‍යවේදී අහමඩ් ෂිහාබ්-එල්ඩින් කුවේටයේදී අත්අඩංගුවට

අමෙරිකා – ඊශ්‍රායල රෙජිමය ඉරානයට එරෙහිව ගෙන යන  යුද්ධය හා සම්බන්ධ වීඩියෝ දර්ශන බෙදාහැරීම හේතුවෙන් VICE, Huff Post සහ Al Jazeera යන ආයතනවල සේවය කැර ඇති මාධ්‍යවේදී අහමඩ් ෂිහාබ්-එල්ඩින් කුවේටයේදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉරාන මිසයිල ප්‍රහාරවල දර්ශන සහ අනෙකුත් සංවේදී කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන පුද්ගලයන්ට එරෙහිව කුවේටය සහ අනෙකුත් ගල්ෆ් කලාපීය රටවල් දැඩි පියවර ගනිමින් සිටින පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව Cyber World Press  පෙන්වා දෙයි.

යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී ෂිහාබ්-එල්ඩින් සිය ‘Substack’ ගිණුම සහ සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදාහදා ගත් නමුත් මාර්තු 2 වැනිදා සිට ඔහු තොරතුරු පළ කිරීම හදිසියේම නතර කැර තිබුණි.

ඔහු එම අවස්ථාවේදී සිය පවුලේ සාමාජිකයන් හමුවීමට කුවේටයට පැමිණ සිටි අතර, ඔහු සති හයකට ආසන්න කාලයක් අත්අඩංගුවේ පසුවන බව ඔහුගේ මිතුරන් විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහු නිදහස් කැර ගැනීමට මහජන සහයෝගය උපකාරී වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ඔවුහු මෙම කරුණ ප්‍රසිද්ධියට පත් කැර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

“අහමඩ් ෂිහාබ්-එල්ඩින් වහාම නිදහස් කරන ලෙසත් ඔහුට එරෙහි සියලු චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙසත් අපි කුවේටයෙන් ඉල්ලා සිටිනවා,” යැයි මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ කලාපීය අධ්‍යක්ෂ සාරා කුඩා නිවේදනයක් නිකුත් කරමින් කියා   ඇති බව Cyber World Press  සඳහාන් කැර තිබේ

අසත්‍ය තොරතුරු පැතිරවීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම සහ ජංගම දුරකථනය අවභාවිත කිරීම යන චෝදනා බලධාරීන් ඔහුට එල්ල කැර ඇති බව  සඳහාන් වේ.

ඔහුගේ මිතුරන් පෙන්වා දෙන්නේ, ෂිහාබ්-එල්ඩින් බෙදාගත් දර්ශන දැනටමත් ප්‍රසිද්ධියට පත් වී තිබූ ඒවා බවයි.

උදාහරණයක් ලෙස, ඔහු බෙදාගෙන තිබුණේ කුවේටයට ඉහළින් පියාසර කළ  අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් කඩා වැටෙන අයුරු දැක්වෙන CNN වීඩියෝවකි.

කෙසේ වෙතත්, “මිසයිල හෝ අදාළ ස්ථානවලට සම්බන්ධ කිසිදු දර්ශනයක් හෝ තොරතුරක් ” ඡායාරූප ගත කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් කුවේට් නිලධාරීන් මීට පෙර පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ.

ෂිහාබ්-එල්ඩින් දශකයකට වැඩි කාලයක් ප්‍රසිද්ධ මාධ්‍ය පෞරුෂයක්ව සිටි අයෙකු බැවින් ඔහුගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවත ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති බව අනාවරණය වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp