
කෘත්‍රිම බුද්ධිය සහ ක්ලවුඩ් තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ලෝක ප්‍රකට ඇමසන් සමාගම 2030 වසර වන විට ඉන්දියාව තුළ අමෙරිකානු ඩොලර් බිලියන 13ක අතිරේක ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කැර තිබේ.
නව අයෝජනය සිදු වන්නේ පසුගිය වසරේදී ඇමසන් සමාගම ප්‍රකාශයට පත් කළ ඩොලර් බිලියන 35ක සැලසුම්ගත ආයෝජනයට අමතරව බව රොයිටර් පුවත් සේවයේ වාර්තාවක් උපුටා දක්වමින් Cyber World Press සඳහන් කෙළේය.
ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි ජැසී පසුගියදා නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවති සාකච්ඡාවකින් පසු එම නිවේදනය සිදු කැර තිබේ. මුම්බායි සහ හයිද්‍රබාද් කලාප පුරා පවතින කෘත්‍රිම බුද්ධි සහ ක්ලවුඩ් යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට මෙමඟින් සහය ලැබෙනු ඇතැයි ඇමසන් සමාගම වැඩිදුරටත් නිවේදනය කැර තිබේ.
මේ වන විට අමෙරිකාව කේන්ද්‍ර කැරගත් ලෝක ප්‍රකට තාක්ෂණික සමාගම් රැසක් ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සඳහා ඩොලර් බිලියන ගණනාවක් ආයෝජනය කැර තිබේ. මයික්‍රොසොෆ්ට් සමාගම ඩොලර් බිලියන 17.5ක් ආයෝජනය කිරීමට තීරණය කැර ඇති අතර, ගූගල් සමාගම ඉදිරි වසර 5 සඳහා ඉන්දියාවේ ආයෝජනය කිරිමට නියමිත මුදල අමෙරිකානු ඩොලර් බිලියන 15 බව රොයිටර් පුවත් සේවය සඳහන් කෙළේය.( දිනමිණ ඇසුරෙන්)
