
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්බන්ධයෙන් පවතින ආරවුල විසඳා ගැනීමටත් අමෙරිකාව එක්සත් ජනපදය සහ ඉරානය අතර දැනට පවතින අන්‍යෝන්‍ය ප්‍රහාර එල්ල කිරීම් නතර කිරීම මුලික කැර ගනිමින් අද (30) කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා හිදී සාකච්ඡා පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව Axios මාධ්‍ය ආයතනය පෙරේදා (28) වාර්තා කෙළේය.
තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ඉදිරියට යෑමට නියමිත බැවින් දෙපාර්ශ්වයම දැනට පසුබැසීමට තීරණය කැර ඇති අතර, නෞකාවලට නිදහසේ ගමන් කළ හැකි බව අමෙරිකානු නිලධාරියකු ප්‍රකාශ කළ බව Cyber World press සඳහන් කරයි.
අද අඟහරුවාදා පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡා මුලින් සැලසුම් කැර තිබුණේ ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට වන අතර, එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීමට තිබුණේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳවයි. කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ නැවතත් උණුසුම් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් මෙම සාකච්ඡා දෝහා වෙත ගෙනයෑමට පියවර ගත් අතර, එහිදී මෙම උපායමාර්ගික ජල මාර්ගයේ නැව් ගමනාගමන ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමට තීරණය විය.
මෙයට සතියකට පෙර ස්විට්සර්ලන්තයේ පැවැති සාකච්ඡා අතරතුරදී, එම සමුද්‍ර සන්ධියේ ගමනාගමන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අමෙරිකානු හමුදාව සහ ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අතර හදිසි ඇමතුම් සේවාවක් ස්ථාපිත කිරීමට අමෙරිකානු දූත පිරිස ඉරානය සමඟ එකඟ වී තිබුණු බව Cyber World press සඳහන් කරයි.
කෙසේ වෙතත්, සෙනසුරාදා වන විටත් එම හදිසි ඇමතුම් සේවාව ක්‍රියාත්මක මට්ටමේ නොතිබූ බව එම වාර්තාව වැඩිදුරටත් පවසයි.
හෝමුස් සමුද්‍ර සන්ධියේ වාණිජ නැව් ගමනාගමනයට එරෙහිව ඉරානය දිගින් දිගටම සිදුකරන ආක්‍රමණ පෙන්වා දෙමින් අමෙරිකා එක්සත් ජනපදය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කෙළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද එම කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු කිපයක් වෙත ප්‍රහාර එල්ල කැර තිබුණි.
