
විවිධ වු ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව නැවතත් යථා තත්ත්වයට පත්වීමට උත්සාහ කරන මෙවැනි තීරණාත්මක මොහොතක, ඕනෑම මට්ටමේ සහයෝගයක් ලබා දීමට චීනය සැමවිටම සූදානම් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං (Qi Zhenhong) මහතා ප්‍රකාශ කරයි.
මහ නුවර ,අකුරණ ප්‍රදේශයේ චීන භාෂා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකට එක් වෙමින් තානාපතිවරයා මේ බව අවධාරණය කෙළේය.
තවදුරටත් චීන තානාපතිවරයා මෙසේද පැවසීය. චීනය, ශ්‍රී ලංකාව සමඟ පවත්වාගෙන යන සංස්කෘතික සබඳතාව මානුෂීය රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ තවත් එක් පියවරක්.
ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව, චීනය සමඟ පවතින මෙම සබඳතාව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා. විශේෂයෙන්ම ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා චීන සංචාරයකින් පසු ,පාලන ක්‍රමයේ “අඛණ්ඩතාවය” පිළිබඳව කළ ප්‍රකාශයන් ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනඥයන්ගේ විවේචනයට ලක්ව තිබෙනවා.
ඉන්දියන් සාගරය කේන්ද්‍ර කර ගනිමින් චීනය සහ ඉන්දියාව අතර පවතින උපායමාර්ගික තරඟකාරිත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාව මෙම සබඳතා සමබරව පවත්වාගෙන යෑම තීරණාත්මකයි. වර්තමාන ආණ්ඩුව අද පවසන්නේ චීනය සමඟ පවතින සියලු ගනුදෙනු ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතා මත පමණක් පදනම් වන බවයි.

සටහන- – චන්දන විජේකෝන්
