Impartial news reporting for a stronger democratic society
දකුණු මුහුදෙන් කෝටි 420ක කුඩු අල්ලයි ! අයිස් හා හෙරොයින් කිලෝ 189ක් – උර 10ක පැකට් 100ක් : සැකකරුවෝ 5ක් දැලේ

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ සෝදිසි මෙ‍ෙහයුමකදී කොටුකරගත් බහුදින යාත්‍රාවේ තිබී රුපියල් බිලියන 4.2ක් (රුපියල් කෝටි 420ක්) වටිනා අයිස් හා හෙරොයින් කිලෝ 189යි ග්‍රෑම් 246ක් තිබී හමුවූ බව නාවික හමුදාව පවසයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී ඇත්තේ උර 10ක අසුරා පැකට් 100ක් ලෙසිනි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ එම යාත්‍රාවේ සිටි 5 දෙනකු ද නාවික හමුදාව සිය භාරයට ගෙන දික්ඕවිට වරායට ඊයේ (5) රැගෙනවිත් තිබුණි.

මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීමෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන එමින් තිබී ඇති බවය. ඉරාන යාත්‍රාවකින් රැගෙන ආ මෙම මත්ද්‍රව්‍ය තොගය ගැඹුරු මුහුදේදී මෙරට යාත්‍රාවට පටවා‍ගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.

මෙරට මුහුදු තීරයේදී මෙම යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය කුඩා යාත්‍රා කිහිපයකට මාරු කිරීමටද සැලසුම් කර තිබී ඇත. ඊට පෙර නාවික හමුදාව විසින් මෙම යාත්‍රාව ගැඹුර මුහුදේදීම කොටුකර ගෙන තිබේ. යාත්‍රාවේ හිමිකරු ද ඊයේ (5) අත්අඩංගුවට ගෙන තිබුණි.

දික්ඕවිට වරායට මත්ද්‍රව්‍ය තොගය සමඟ යාත්‍රාව රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය ඇතිව පරීක්ෂා කර තිබේ.

අයිස් කිලෝ 132යි ග්‍රෑම් 26ක පමණ තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 57යි ග්‍රෑම් 220ක පමණ තොගයක් යාත්‍රාවේ තිබූ බවට එහිදී තහවුරු විය.

මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගත්තේය.

මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන සහ බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ විජේවර්ධන ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් සන්නද්ධ හමුදා, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ එක්ව, දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇති බැවින්, රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බව නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා පැවසීය.

නාවික හමුදාව පමණක් පසුගිය 2025 වර්ෂයේ රුපියල් බිලියන 75කට අධික දළ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකරගෙන ඇති බව ද නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා කීය.

මත්ද්‍රව්‍ය සැපයීම සහ මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩාළ කිරීම සඳහා නව නීති සම්පාදනය කරමින් හා තාක්‍ෂණික උපකරණ හා උපාංග ලබා දෙමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත රජය විසින් ලබා දෙන පහසුකම් හමුවේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ කිසිදු ක්‍රමයකින් මත්ද්‍රව්‍ය රට තුළට රැගෙන ඒමට ඉඩක් නැති බවද පැවසූ නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයා, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත හා ඒ සඳහා අනුබල දෙන හා පහසුකම් සපයන්නන් වෙත විෂ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත්වන ලෙස අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සාර්ථකව සිදු කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ක්‍ෂණික දුරකතන අංක 1818 හෝ 1997 ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඇමැතිවරයා ඉල්ලීමක් කරයි.

මෙම මෙහෙයුමත් සමඟ, 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට, ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ වී වසරක කාලයකදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව කළ මෙහෙයුම් මඟින්, රුපියල් බිලියන 114කට අධික දළ වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. 2026 වසරේ මේ දක්වා කළ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් බිලියන 73කට අධික දළ වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp