Impartial news reporting for a stronger democratic society
NPP ඇතුළේ  ලොකු අර්බුදයක් : විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කැබිනට් අනුමැතියට ලාල් විජේනායකගෙන් දැඩි විරෝධයක් !

අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් ඉහළ නැංවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්

මේක හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක්, මට කට වහගෙන ඉන්න කිව්වා” – NPP නායකත්ව මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගෙන් දැඩි චෝදනාවක්

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට ඊයේ (ජූලි 27) පැවැති  කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇති බව  අනාවරණය වෙයි.

 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් දැනට නියම කැර ඇති අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වන අවුරුදු 63 සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වන අවුරුදු 65 යන සීමාවන්, අදාළ ව්‍යවස්ථා සංශෝධනය මඟින් තවත් වසර දෙක බැගින් පිළිවෙළින් අවුරුදු 65 සහ 67 දක්වා දීර්ඝ කිරීමට  ආණ්ඩුව මෙසේ පියවර ගෙන තිබේ.

ජාතික ජන බලවේගය තුළින්ම මතු වූ විරෝධය

මෙම සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පිරිසක් ඊයේ එක්ව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ, ජාතික ජන බලවේගයේ (NPP) නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක පෙන්වා දුන්නේ මෙම තීරණය පක්ෂයේ කිසිදු සභාවක එකඟතාවයෙන් ගත් එකක් නොවන බවයි.
“මම ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ ඉන්න කෙනෙක්. මම ඉන්න NPP විධායක සභාවක හෝ වෙන කිසිම සභාවක විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරන මෙහෙම තීරණයක් අරන් නෑ. මම මේ ගැන ඇහුවම කිව්වා මට කට වහගෙන ඉන්න කියලා. මම අවුරුදු 55ක් නීතිඥ වෘත්තියේ හිටියා. අවුරුදු 60ක් වාමාංශික ව්‍යාපාරයේ හිටියා. අපි අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ෆීලික්ස් ඩයස්, ජේ.ආර්. ජයවර්ධන, නිහාල් ජයවික්‍රම වගේ අය එක්ක සටන් කළා. ඒ නිසා අදත් මම සටන් කරනවා. මේක ආණ්ඩුවේ හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක්,” යනුවෙන් ප්‍රකාශ කළ ලාල් විජේනායක, අනාගත පරපුරට වැරදි පූර්වාදර්ශයක් නොදෙන ලෙස ඉල්ලමින් සිය විරෝධය ජනාධිපතිවරයා වන අනුර දිසානායක වෙත ලිඛිතව ද භාරදුන් බව පැවසීය.

නිදහස් නීතිඥ සංගමය සහ  ආණ්ඩුවේ ස්ථාවරය

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් නිදහස් නීතිඥ සංගමය සඳහන් කරන්නේ, මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් 08 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවත්, එම පුරප්පාඩු පිරවීම පැහැර හරිමින් මෙලෙස වයස දීර්ඝ කිරීමට තීරණය කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් බවත්ය.
කෙසේ වෙතත්, මාධ්‍ය වෙත අදහස් දක්වමින් කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන නියෝජ්‍ය  ඇමැති චතුරංග අබේසිංහ අවධාරණය කෙළේ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම සිදුකරන බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය යම් යම් පැලැන්ති ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේද යන්න පිළිබඳව තමන් අවධානයෙන් සිටින බවද නියෝජ්‍ය  ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

Source – The Leader

Follow by Email
LinkedIn
Share
WhatsApp