
වෛද්‍ය සැපයුම් හදිසියේ මිලදී ගැනීමට අදාළ මතභේදාත්මක ක්‍රියාවලියට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගකිව යුතු බව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණය හමුවේ පසුගිය දා ප්‍රකාශ කර තිබේ.
කොළඹ ස්ථිර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ සාක්ෂි ලබා දෙමින් රඹුක්වැල්ල කියා සිටියේ, අදාළ ලේඛනය තමන් ඉදිරිපත් නොකළ බවත්, එම තීරණයට අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ඊට වගකිව යුතු බව ඔහු සඳහන් කැර ඇත.

මෙම නඩුවේ අටවන විත්තිකරු වන රඹුක්වැල්ල, සඳුදා දිනයේ සිදු කළ දීර්ඝ ප්රකාශයකදී මෙම කරුණ ඉදිරිපත් කෙළේය.
එම මතභේදාත්මක ක්‍රියාවලියට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ, එකල මුදල් ඇමැතිවරයා මෙන්ම අගමැතිවරයා ද වූ රනිල් වික්‍රමසිංහ බව ඔහු පවසා ඇත.
නීතිපතිවරයා මෙම නඩුවේ විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව චෝදනා පත්‍ර 13ක් ගොනු කැර ඇත.
රජයට රුපියල් මිලියන 144.4ක පාඩුවක් සිදු කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී ලෙස අවභාවිත කිරීම යන චෝදනා ඊට ඇතුළත් වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත සැපයූ ඖෂධ කුප්පි 6,195ක අඩංගු වී ඇත්තේ ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ (Human Immunoglobulin) හෝ ‘රිටුක්සිමාබ්’ (Rituximab) යන ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය බව පැමිණිල්ලේ පාර්ශ්වය චෝදනා කරයි.
විත්තිකරුවන්ගේ වාචික සාක්ෂි විමසීම අඟහරුවාදා දිනයේදී අවසන් විය.
නොවැම්බර් 25 වැනි දින ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට නියමිත අතර, නොවැම්බර් 30 වැනි දින වාචික දේශන විභාග කිරීමට නියමිතය. ඉන් අනතුරුව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනයක් නියම කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
