Impartial news reporting for a stronger democratic society
චීනයේ ජන ජිවිතය වෙනස් කරන හැංෂෞ නගරයේ වෙන්සන් ඩිජිටල් ලයිෆ් වීදිය

   ලෝකය මවිතයට පත්කරමින්  සිදුවන චීනයේ නවීන නාගරික සංවර්ධනය තුළ තාක්ෂණය සහ මිනිසාගේ දෛනික ජීවිතය එකට සම්බන්ධ කිරීමට  විශේෂ අවධානයක් යොමු කැර තිබේ. එහි කැපී පෙනෙන නිදසුනක් වන්නේ නැඟෙනහිර චීනයේ ෂෙජියැං පළාතේ හැංෂෞ නගරයේ පිහිටි වෙන්සන් ඩිජිටල් ලයිෆ් වීදි කලාපයයි.

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහය ඇතිව  ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් පිරිසකට පසුගිය දා මෙම කලාපය සියසින් දැකබලා ගැනීමට අවස්ථාව උදාවිය. මෙම මාධ්‍ය කණ්ඩායමේ සමාජිකයකු ලෙස චීනයට ගිය මට මෙම වෙන්සන් ඩිජිටල් ලයිෆ් වීදියේ ඇවිද යමින් ඒ් පිළිබඳ අධ්‍යයනයක් කිරීමට අවස්ථාව ලැබිණි. පෙනුමෙන් මෙය  සාමාන්‍ය වෙළෙඳ වීදියක් නොවේ. කෘත්‍රිම බුද්ධිය (AI), රොබෝ තාක්ෂණය, ඩිජිටල් විනෝදාස්වාදය සහ නවීන පාරිභෝගික සේවා එකම නාගරික අවකාශයකට එක්කර තිබෙන විශේෂ පරිසරයක් බව මට මෙහිදී අවබෝධ විය. එසේම මෙම වීදි කලාපය චීනයේ ඩිජිටල් ආර්ථිකය ජනතාවගේ එදිනෙදා ජීවිතයට සමීප කරන නව අත්හදා බැලීමක් ලෙස සැලකිය හැකි බව  අවබෝධ වීමට වැඩි  වේලාවක් ගත වුයේ නැත.

පැරණි ඉලෙක්ට්‍රොනික වෙළෙඳ වීදියකින් ඩිජිටල් නගරයකට

මෙම වෙන්සන් වීදියට දිගු ඉතිහාසයක් තිබේ.  මෙයට දශක දෙකකට පමණ පෙර එය හැංෂෞ නගරයේ ප්‍රසිද්ධම පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපකරණ වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. විශේෂයෙන් පරිගණක, ජංගම දුරකථන, විදුලි උපකරණ සහ තොරතුරු තාක්ෂණයට අදාළ භාණ්ඩ මිලදී ගැනීමට චීනයේ විවිධ ප්‍රදේශවලින් ජනතාව මෙහි පැමිණ තිබේ. එම කාලයේදී වෙන්සන් වීදිය චීනයේ ඩිජිටල් තාක්ෂණික ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වැදගත් ස්ථානයක් බවට පත්ව තිබුණු බව මා කළ අධ්‍යයනයේදී දැනගැනීමට ලැබිණි.

එහෙත් අන්තර්ජාල වෙළෙඳාම සහ ඊ-වාණිජ්‍යය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ සාම්ප්‍රදායික ඉලෙක්ට්‍රොනික වෙළෙඳසල්වලට අභියෝග එල්ල විය. බොහෝ වෙළෙඳුන් තම ව්‍යාපාර වෙනස් කළ අතර, තවත් පිරිසක් අන්තර්ජාල වෙළෙඳාමට යොමු වූහ.මෙම තත්ත්වය හමුවේ හැංෂෞ නගරයේ ෂිහූ දිස්ත්‍රික්කයේ බලධාරීන් වෙන්සන් වීදිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙළේය.

2022 දෙසැම්බර් 30 වැනිදා වෙන්සන් ඩිජිටල් ලයිෆ් වීදි කලාපය නිල වශයෙන් විවෘත කෙරිණි. එහි අරමුණ වූයේ සාම්ප්‍රදායික වෙළෙඳ වීදියක් වෙනුවට තාක්ෂණය, විනෝදාස්වාදය, සාප්පු සවාරි සහ සමාජ අන්තර්ක්‍රියා එකට සම්බන්ධ වූ නවීන නාගරික පරිසරයක් නිර්මාණය කිරීමයි.

කෘත්‍රිම බුද්ධියෙන් ජීවමාන වන වීදිය

වෙන්සන් ඩිජිටල් ලයිෆ් වීදියේ වඩාත්ම ආකර්ෂණීය අංගයක් වන්නේ කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය ජනතාවට සජීවීව අත්විඳීමට අවස්ථාව සලසා තිබීමයි.මෙහි තාක්ෂණික අත්දැකීම් මධ්‍යස්ථානවල රොබෝවරුන්ට විවිධ කාර්යයන් ඉටු කළ හැකි ආකාරය ප්‍රදර්ශනය කෙරේ. ඇතැම් රොබෝවරු නර්තනයේ යෙදෙති. තවත් රොබෝවරු ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කරති. මිනිසුන් සමඟ කතාබහ කිරීමට සහ උපදෙස් ලබාදීමට හැකි කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සමන්විත යන්ත්‍ර ද මෙහි දැකගත හැකිය.

විශේෂයෙන්ම රොබෝ බල්ලන්ගේ ක්‍රියාකාරකම්, මිනිස් හැඩැති රොබෝවරුන්ගේ හැසිරීම් සහ ස්වයංක්‍රීය යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය නැරඹීමට පැමිණෙන ජනතාවට අවස්ථාව ලැබේ.2026 වසරේ වාර්තා වූ තොරතුරුවලට අනුව, මෙම වීදි කලාපයේ කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ නව අත්දැකීම් සඳහා දිනකට 5,000කට අධික පිරිසක් සහභාගි වන බව සඳහන් වේ.

මෙහි විශේෂත්වය වන්නේ තාක්ෂණය කෞතුකාගාරයක ප්‍රදර්ශනය කරන භාණ්ඩයක් ලෙස පමණක් සීමා නොකර, ජනතාවට එය ස්පර්ශ කිරීමට, අත්හදා බැලීමට සහ එහි ප්‍රයෝජන අත්විඳීමට අවස්ථාවක් සලසා තිබීමයි.

අතථ්‍ය ලෝකය හා සැබෑ ලෝකය එකතු කරන AR සහ VR තාක්ෂණය

වෙන්සන් ඩිජිටල් ලයිෆ් වීදියේ තවත් වැදගත් අංගයක් වන්නේ AR සහ VR තාක්ෂණයයි.AR හෙවත් Augmented Reality යනු සැබෑ ලෝකය තුළ ඩිජිටල් රූප, තොරතුරු සහ සජීවිකරණ එකතු කැර පෙන්වන තාක්ෂණයකි. VR හෙවත් Virtual Reality මඟින් පරිශීලකයාට සම්පූර්ණයෙන්ම අතථ්‍ය පරිසරයක අත්දැකීමක් ලබාගත හැකිය.

මෙම තාක්ෂණ භාවිතයෙන් වීදියේ ගමන් කරන ජනතාවට සාමාන්‍ය පරිසරයෙන් ඔබ්බට ගිය අත්දැකීම් ලබාගත හැකිය.උදාහරණයක් ලෙස AR උපකරණයක් හෝ සුදුසු ජංගම යෙදුමක් භාවිත කරමින් වෙළෙඳසලක් ඉදිරිපිටදී එයට අදාළ ඩිජිටල් දර්ශන දැකගත හැකිය. ඇතැම් ස්ථානවල අභ්‍යවකාශ චරිත, සජීවිකරණ සහ වෙනත් අතථ්‍ය නිර්මාණ සැබෑ පරිසරය සමඟ සම්බන්ධ කැර පෙන්වනු ලැබේ.

මෙමඟින් සාප්පු සවාරියක් යෑම පමණක් නොව, තාක්ෂණය සමඟ සම්බන්ධ වූ විනෝදාත්මක සංචාරයක් ද ලබාගැනීමට හැකි වේ.2023 වසරේදී හඳුන්වා දුන් AR මාර්ගෝපදේශන වැඩසටහන මඟින් වීදියේ වෙළෙඳසල් සහ විශේෂ ස්ථාන හඳුනාගැනීමටත්, ඩිජිටල් ලෝකයේ අන්තර්ගතයන් සමඟ අන්තර්ක්‍රියා කිරීමටත් අවස්ථාව සලසා  දී තිබේ.

ඩිජිටල් වෙළෙඳාම සහ නව පාරිභෝගික අත්දැකීම්

මෙම වීදි කලාපය ඩිජිටල් තාක්ෂණය ප්‍රදර්ශනය කරන ස්ථානයක් පමණක් නොවේ. එය නව ව්‍යාපාරික ආකෘති අත්හදා බලන වෙළෙඳ මධ්‍යස්ථානයක් ද වේ.මෙහි ප්‍රධාන වශයෙන්  අවධානය යොමු කැර ඇත්තේ ඩිජිටල් තාක්ෂණික නිෂ්පාදන, බුද්ධිමත් උපකරණ සහ ඩිජිටල් අන්තර්ගතයන් ජනතාවට සමීප කිරීම කෙරෙහිය.

Huawei, Xiaomi සහ ByteDance වැනි තාක්ෂණික සමාගම්වල නිෂ්පාදන හා අත්දැකීම් ලබාගත හැකි වෙළෙඳ අවකාශ ද මෙම කලාපය තුළ සංවර්ධනය කැර තිබිම විශේෂත්වයකි.

එමෙන්ම,

  • කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන වෙළෙඳ සේවා.
  • ස්වයංක්‍රීය වෙළෙඳ යන්ත්‍ර සහ සුපිරි වෙළෙඳසල්.
  • ඩිජිටල් පුද්ගලයන් මඟින් භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබාදීම.
  • AR තාක්ෂණයෙන් ඇඳුම් හා රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීම.
  • VR ක්‍රීඩා සහ අතථ්‍ය ප්‍රසංග.
  • නවීන ස්මාර්ට් නිවාස උපකරණ අත්හදා බැලීම වැනි අත්දැකීම් මෙහිදී ලබාගත හැකිය. එසේම මෙමඟින් සාම්ප්‍රදායික වෙළෙඳාම නව ඩිජිටල් ආර්ථිකයත් සමඟ සම්බන්ධ කිරීමට උත්සාහ කැර තිබීම පුදුමය ගෙන දෙන ක්‍රියාවලියකි.

 ජනතාවගේ පහසුව වෙනුවෙන් නිර්මාණය කළ ස්මාර්ට් වීදිය

වෙන්සන් ඩිජිටල් ලයිෆ් වීදියේ සංවර්ධනයේ තවත් වැදගත් අරමුණක් වන්නේ ජනතාවගේ දෛනික කටයුතු වඩාත් පහසු කිරීමයි. ඒ සඳහා ස්මාර්ට් නාගරික පහසුකම් රැසක් හඳුන්වා දී තිබිම විශේෂත්වයකි.

ස්මාර්ට් බස් නැවතුම්පොළවල් මඟින් බස් රථ පැමිණෙන වේලාව පිළිබඳ තොරතුරු ලබාගත හැකි වීම තවත් විශේෂත්වයකි. මාර්ග හරහා ගමන් කරන පදිකයන්ට ශබ්ද සංඥා මඟින් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම්දීම් ලබාදෙන පහසුකම් ද මෙහි සකස් කැර ඇත.

එසේම ස්මාර්ට් වාහන නැවැත්වීමේ පද්ධති මඟින් හිස් වාහන නැවැත්වීමේ ස්ථාන සොයාගැනීමටත්, ඒවා වෙත ගමන් මාර්ග හඳුනාගැනීමටත් හැකියාව ලැබේ.වීදිය පුරා Wi-Fi සම්බන්ධතා, ස්මාර්ට් ආලෝකකරණ පද්ධති සහ ඩිජිටල් තොරතුරු පුවරු ද ස්ථාපනය කැර තිබීම අප  මවිතයට  පත් කෙළේය.මෙවැනි පහසුකම් මඟින් තාක්ෂණය ජනතාවගේ දෛනික ජීවිතයට සෘජුවම සම්බන්ධ කැර තිබේ.

ආර්ථික සංවර්ධනයට නව මාවතක්

වෙන්සන් ඩිජිටල් ලයිෆ් වීදි කලාපය හරහා හැංෂෞ නගරය අපේක්ෂා කරන්නේ නවීන තාක්ෂණික අත්දැකීම් ලබාදීම පමණක් නොවේ. එමඟින් නව ව්‍යාපාරික අවස්ථා, රැකියා සහ ආයෝජන ද ඇති කිරීමයි.

2026 ජුනි මාසයේ පළ වූ චීන වාර්තාවකට අනුව, මෙම කලාපයේ දෛනික ජනතා පැමිණීම 80,000 ඉක්මවා තිබේ. මාසික සමස්ත පාරිභෝගික වියදම යුවාන් බිලියන 1.2 ඉක්මවන බව එම වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවේ තවත් වැදගත් කරුණක් වන්නේ කලාපයේ ඩිජිටල් පාරිභෝගික වියදම් ප්‍රතිශතය සියයට 60 ඉක්මවා ඇති බවයි. එමෙන්ම AI, 5G-A සහ මෙටාවර්ස් ආශ්‍රිත තොරතුරු තාක්ෂණ යෙදුම් අවස්ථා 50කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක කැර තිබේ.ඩිජිටල් ආර්ථිකයට අදාළ නව රැකියා අවස්ථා 1,500කට අධික සංඛ්‍යාවක් ද නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මෙම සංඛ්‍යා මඟින් පෙන්වා දෙන්නේ, තාක්ෂණික නවෝත්පාදන නගරයක ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ පාරිභෝගික ආකර්ෂණය ඉහළ නැංවීමට දායක විය හැකි ආකාරය බව කිවයුතුය.

වෙන්සන් ඩිජිටල් වීදියෙන් ලෝකයට ලැබෙන පණිවුඩය

වෙන්සන් ඩිජිටල් ලයිෆ් වීදි කලාපය දෙස බැලීමේදී වැදගත් කරුණු කිහිපයක්  මට හඳුනාගත  හැකි විය.ඒ්වා මෙසේ සඳහාන් කිරීම වැදගත්ය.

  • පැරණි ව්‍යාපාරික මධ්‍යස්ථානයක් නව තාක්ෂණික ආර්ථිකයකට පරිවර්තනය කළ හැකි  වීම.
  • නවීන තාක්ෂණය ජනතාවගෙන් ඈත් වූ දෙයක් නොව, ඔවුන්ගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත් කළ හැකි  දෙයක් වීම.
  • නගර සංවර්ධනයේදී ගොඩනැඟිලි සහ මාර්ග පමණක් නොව, ජනතාවගේ අත්දැකීම්, විනෝදාස්වාදය, ව්‍යාපාරික අවස්ථා සහ ජීවන පහසුව ද වැදගත්  වීම.

කෙසේ වෙතත්, මෙවැනි ඩිජිටල් නගර ආකෘති සංවර්ධනය කිරීමේදී පුද්ගලික දත්ත ආරක්ෂාව, ඩිජිටල් පහසුකම් සඳහා සමාන ප්‍රවේශය සහ තාක්ෂණික සේවාවල විශ්වසනීයත්වය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වෙයි.

අවසාන වශයෙන්, චීනයේ හැංෂෞ නගරයේ වෙන්සන් ඩිජිටල් ලයිෆ් වීදිය යනු අනාගත නගරයක් පිළිබඳ සංකල්පය සැබෑ ජීවිතය තුළ අත්හදා බලන ස්ථානයක් බව කිවයුතුය. විශේෂයෙන් ,පරිගණක හා ජංගම දුරකථන වෙළෙඳාමෙන් ප්‍රසිද්ධියට පත්ව තිබූ පැරණි වීදියක් අද කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය සහ ඩිජිටල් පාරිභෝගික සේවා එකට සම්බන්ධ වූ නවීන නාගරික අවකාශයක් බවට පරිවර්තනය වී තිබේ.එය චීනයේ ඩිජිටල් ආර්ථිකයේ ගමන් මඟ පමණක් නොව, අනාගතයේදී නගරවල ජීවත්වීම, වෙළෙඳාම් කිරීම සහ විනෝද වීම වෙනස් විය හැකි ආකාරය පිළිබඳව ද ලෝකයට ඉදිරිපත් කරන වැදගත් නිදසුනක් බව වෙන්සන් ඩිජිටල් ලයිෆ් වීදි කලාපය තුළ ඇවිද ගිය මට අවබෝධ විය.

අටවැනි කොටස

 සටහන

චන්දන විජේකෝන්

Follow by Email
LinkedIn
Share
WhatsApp