Impartial news reporting for a stronger democratic society
ඉම්රාන් ඛාන්ගේ ජිවිත අවදානම ගැන පුතුන් ජාත්‍යන්තර මාධ්‍යයට කරුණු කියයි

පාකිස්ථානයේ රාවල්පින්ඩි හි කුප්‍රකට අඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටින 74 හැවිරිදි හිටපු අගමැති සහ ලෝක පූජිත ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර අවධානය නැවතත් යොමුව තිබේ.
ඔහු රඳවා සිටින්නේ පූර්ණ හුදකලා කුටියකය. තමන්ට බන්ධනාගාරය තුළ වධහිංසා පමුණුවන බවට ඔහු ප්‍රකාශ කිරීමෙන් පසු  අගෝස්තු මාසයෙන් අනතුරුව, පවුලේ සාමාජිකයන්ට හෝ නීතිඥවරුන්ට ඔහු පිළිබඳ කිසිදු සෘජු තොරතුරක් ලැබී නැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මොහොමඩ් මොර්සිගේ ඉරණම පිළිබඳ අනතුරු ඇඟවීම

බ්‍රිතාන්‍ය ජාතික ජෙමයිමා ගෝල්ඩ්ස්මිත් සමඟ පැවති පළමු විවාහයේ පුත් සුලෙයිමාන් ඛාන් පෙන්වා දෙන්නේ, තම පියා ඝාතනය කිරීමේ දැඩි අවදානමක් පවතින බවයි.2019 වසරේදී ඊජිප්තු අධිකරණ ශාලාවක් තුළදීම හදිසියේ ඇදවැටී මියගිය හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සිට අත්වූ අවාසනාවන්ත ඉරණම තමන්ටත් අත්විය හැකි බවට ඉම්රාන් ඛාන් මීට පෙරද අනතුරු අඟවා තිබූ බව සුලෙයිමාන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත  ප්‍රකාශ කැර  ඇත.

හමුදා නායකත්වයට එල්ල වන චෝදනා සහ නිල ප්‍රතිචාර

තම පියා අඛණ්ඩව සිරගත කැර තැබීම හා හුදකලා කිරීම පිටුපස පාකිස්තාන යුද හමුදාපති ජනරාල් අසීම් මුනීර් සිටින බව සුලෙයිමාන් ඛාන් සහ  පවුලේ  සාමාජිකයන් සෘජුව චෝදනා  කැර තිබේ.

දූෂණ හා අල්ලස් ඇතුළු චෝදනා සියයකට අධික සංඛ්‍යාවකට ඔහු මුහුණ දී සිටියද, එම සියලු නඩු දේශපාලන පළිගැනීම් බව ඉම්රාන් ඛාන්ගේ පාර්ශ්වය දිගින් දිගටම අවධාරණය කරයි. එහෙත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන පාලක අධිකාරීන් පවසන්නේ නීතිමය ක්‍රියාදාමයන්ට අනුව පමණක් අධිකරණ නියෝග මත ඔහු රඳවා සිටින බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp