Impartial news reporting for a stronger democratic society
රුසියාවේ ගුවන් ප්‍රහාරවලින් බෙරෙන්න යුක්රේනය පේට්‍රියට් මිසයිල 500ක් අමෙරිකාවෙන් මිලට ගනී

රුසියාව එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා යුක්රේනයට අත්‍යවශ්‍ය වන පේට්‍රියට් (Patriot) මිසයිල 500ක් අලෙවි කිරීමට අමෙරිකා එක්සත් ජනපදයේ අනුමැතිය ලැබී තිබේ.
මෙම මිසයිල ගනුදෙනුවට අදාළව දියුණු PAC-3 වර්ගයේ අන්තර්ග්‍රහක මිසයිල සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 2.1ක මුදලක් වැය වන බව වාර්තා වේ.
එම වියදම යුරෝපයේ සහ කැනඩාවේ යුක්රේන හිතවාදී රටවල් විසින් සම්පූර්ණයෙන්ම දරනු ලබන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කැර තිබේ.
මේ අතර, රුසියාවේ මාරාන්තික බැලස්ටික් මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා පේට්‍රියට් පද්ධතිවල අවශ්‍යතාව අවධාරණය කරමින් ඒවා කඩිනමින් ලබාදෙන ලෙස සෙලෙන්ස්කි ඊයේ (30) රාත්‍රියේදී යළිත් අමෙරිකාවෙන් ඉල්ලීමක් කැර ඇත.
මෙම නව මිසයිල ගනුදෙනුව ප්‍රකාශයට පත්වන්නේ යුක්රේන ජනාධිපතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෑතකදී ඇති වූ මතභේදකාරී තත්ත්වයකින් පසුවය.
රුසියානු ඩීසල් ලබාගැනීම සම්බන්ධ ගිවිසුමක කොටසක් ලෙස අමෙරිකාව රුසියාවට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීම ද දෙරටේ නායකයන් අතර මතභේදයට හේතු වී තිබේ.
රුසියාව සමඟ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා යුක්රේනයට නව නායකත්වයක් අවශ්‍ය බවට ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කැර තිබූ බව ද වාර්තා වේ.
2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනයට පූර්ණ පරිමාණ ආක්‍රමණයක් ආරම්භ කළ අතර, ඊට පෙර ක්‍රිමියාව සහ නැඟෙනහිර ඩොන්බාස් කලාපයේ කොටස් ද අත්පත් කැරගෙන තිබිණි.
කෙසේ වෙතත්, ඔක්තෝබර් 20 වැනිදා ඔස්ලෝ නුවරදී සෙලෙන්ස්කි අමෙරිකානු නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව දෙරට අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් යම්තාක් දුරට සමනය වී ඇති බව සඳහන් වේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp