
වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ‘ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) ජාත්යන්තර මානව හිමිකම් නීතියට පූර්ණ වශයෙන්ම අනුකූල නොවන බවත්, එහි තවදුරටත් සංශෝධන සිදු කිරීම අත්යවශ්ය කරුණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්රකාශ කැර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) මෙම පනත් කෙටුම්පත පිළිබඳ සිය අදහස් පසුගිය දා ප්රකාශයට පත් කිරීමත් සමඟ බොහෝ තොරතුරු මේ සම්බන්ධයෙන් සමාජගත විය.
එහි සඳහන් වන පරිදි, දැනට පවතින ‘ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ’ (PTA) සහ මීට පෙර යෝජනා කරන ලද ත්රස්තවාදයට එරෙහි නීතිවල දක්නට ලැබුණු අඩුපාඩු ගණනාවක් මෙම නව පනත් කෙටුම්පත තුළ තවදුරටත් පුළුල් වී තිබේ.
‘නීත්යානුකූලභාවය පිළිබඳ මූලධර්මයට’ (principle of legality) අනුකූල වන පරිදි, ත්රස්තවාදී වැරදි යනු මොනවාද යන්න පැහැදිලිව, සීමිත පරාසයක් තුළ සහ කල්තියා වටහා ගත හැකි ආකාරයට අර්ථ දැක්විය යුතු බව OHCHR අවධාරණය කරයි.
එමෙන්ම, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් ශක්තිමත් අධිකරණ අධීක්ෂණයක් තිබිය යුතු බවත්, වධහිංසා පැමිණවීම් සහ අමානුෂික සැලකීම්වලට එරෙහිව දැඩි ආරක්ෂාවක් අවශ්ය බවත්, නීත්යානුකූල ක්රියා පටිපාටි සහ සාධාරණ නඩු විභාගයක් සඳහා වන සහතික තවදුරටත් තහවුරු කළ යුතු බවත් එම කාර්යාලය පෙන්වා දෙයි.
ඵලදායී අධීක්ෂණ යාන්ත්රණ සහ ප්රතිකර්ම, නීත්යානුකූල අදහස් ප්රකාශ කිරීමේ අයිතිය සහ සිවිල් ක්රියාකාරකම් ආරක්ෂා කිරීම, මෙන්ම සිවිල් පොලිස් බලධාරීන්ගේ ප්රමුඛත්වය පවත්වාගෙන යෑම යන කරුණු ද එම කාර්යාලය අවධානය යොමු කළ යුතු ප්රමුඛතා අතරට ඇතුළත් කැර ඇත.
බලතළ සහ අයිතිවාසිකම් පිළිබඳ ගැටලු
OHCHR ප්රකාශ කෙළේ, “විශේෂයෙන්ම, ත්රස්තවාදී වැරදි පිළිබඳ අර්ථ දැක්වීම් ඉතා පුළුල් වීම සහ ඒවා ප්රමාණවත් තරම් නිශ්චිත නොවීම; අදහස් ප්රකාශ කිරීමේ අයිතිය සහ සිවිල් ක්රියාකාරකම්වලට බාධා එල්ල වීම; පරිපාලනමය වශයෙන් පුද්ගලයන් රඳවා තබා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් ප්රමාණවත් අධිකරණ පාලනයක් නොමැති වීම; අත්අඩංගුවට ගැනීම් සහ සෝදිසි කිරීම් සඳහා පුළුල් බලතල පැවතීම; මෙන්ම විධායක බලධාරීන්ට අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ ලැබීම වැනි කරුණු සම්බන්ධයෙන් ගැටලු පවතී,” යනුවෙනි.
වධහිංසා පැමිණවීම් සහ අමානුෂික සැලකීම්වලට එරෙහි ආරක්ෂක විධිවිධාන, නීත්යානුකූල ක්රියා පටිපාටි සහ සාධාරණ නඩු විභාග සඳහා වන සහතික, මෙන්ම වගවීම තහවුරු කිරීම සහ ප්රතිකර්ම ලබා දීම යන අංශ සම්බන්ධයෙන් ද ගැටලු පවතින බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
එහි නිර්දේශ අතර, නීත්යානුකූලභාවය සහ නෛතික නිශ්චිතභාවය පිළිබඳ පරීක්ෂණවලට මුහුණ දෙන සහ අත්තනෝමතික ලෙස හෝ වෙනස් කොට සැලකීමේ ආකාරයකින් යෙදිය නොහැකි වන පරිදි පනත් කෙටුම්පතේ ත්රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම නැවත අර්ථ දැක්වීමට සහ පටු කිරීමට OHCHR ශ්රී ලංකාවෙන් ඉල්ලා සිටි ඇත.
විදේශීය රාජ්යයන් ඇතුළුව, 43(4) වගන්තිය යටතේ ඒකාබද්ධ විමර්ශන අතරතුර ලබාගත් ඕනෑම තොරතුරක් හෝ දත්ත හුවමාරුවක් ජාත්යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව සිදු කරන ලෙස ද එය තවදුරටත් ඉල්ලා සිටි.
