Impartial news reporting for a stronger democratic society
සමාජ මාධ්‍ය තම වාසියට හරවාගෙන   බ්‍රසී­ලයේ අනා­ග­තය නැවත අතට ගත් ලූලා

දකුණු අමෙ­රි­කාවේ විශා­ල­තම ආර්ථි­කය ලෙස අස­ල්වාසී කොලො­ම්බි­යාව, චිලි , ආජෙ­න්ටි­නාව වැනි රට­වල් සමඟ අර්ථික හා වෙළෙඳ සබ­ඳතා තහ­වුරු කර­මින් කලා­පයේ ස්ථාව­ර­ත්ව­යට නාය­ක­ත්වය සැප­යී­මට ලූලා සිය නව ධුර කාල­යේදී පිය­වර ගනු ඇතැයි ද අනා­වැකි පළ වී තිබේ



අන්ත දක්ෂි­ණාං­ශික අපේ­ක්ෂක ෆ්ලේවියෝ බොල්සො­නා­රෝගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් දැවැන්ත මාධ්‍ය ප්‍රචා­ර­යක් ගෙන ගිය අමෙ­රි­කාව ඇතුළු බට­හිර රට­වල් විම­ති­යට පත් කර­මින් බ්‍රසීල ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් වාමාං­ශික නායක ලූලා ද සිල්වා සිව්වැනි වර­ටත් ජනා­ධි­පති ධුර­යට පසුගිය දා තේරී පත්විය. ජන­පති සටනේ පළමු වට­යේදී 45 හැවි­රිදි ෆ්ලේවියෝ බොල්සො­නාරෝ හමුවේ වැඩි ඡන්ද ලක්ෂ 20කින් පමණ පසු­බෑ­ම­කට ලක්වූ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා ද වන 80 හැවි­රිදි ලූලා දෙවැනි වටය ජය­ගත්තේ වැඩි ඡන්ද ලක්ෂ 44කිනි.

අසූව දශ­කයේ අග භාග­යේදී එරට ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව සම්මත කිරි­මෙන් පසුව පළමු වට­යෙන් පරා­ජිත ජන­පති අපේ­ක්ෂ­ක­යකු දෙවැනි වට­යේදී (runoff) ජය­ග්‍ර­හ­ණය අත්ක­ර­ගත් පළමු අව­ස්ථාව ද මෙය වේ. හෙතෙම බ්‍රසීල ඉති­හා­සයේ වැඩිම කාල­යක් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීව තේරී පත්වූ දේශ­පා­ලන නාය­කයා ද වේ. වසර 2003 සිට 2011 දක්වා ධුර කාල දෙකක් අඛ­ණ්ඩව ජන­පති ධුරය දැරූ ලූලා 2023 සිට 2026 දක්වා තවත් ධුර කාල­යක් සම්පූර්ණ කර­මින් සිටින අතර, ලබන වසරේ ජන­වා­රියේ 5 වැනිදා සිව්වැනි වර­ටත් දිවු­රුම් දීමට නිය­මි­තය.

ලූලාගේ පෙර­ළි­කාර ජය­ග්‍ර­හ­ණය ජාත්‍ය­න්ත­රයේ දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යන් හඳු­න්වනු ලබන්නේ, බ්‍රසී­ලයේ ලතින් අමෙ­රි­කානු කලා­පයේ ස්වාධී­න­ත්වය උදෙසා බ්‍රසී­ලයේ බහු­තර ජන­තාව ලබා දුන් ජන වර­මක් හැටි­ය­ටය. එය නූතන ලතින් අමෙ­රි­කානු දේශ­පා­ලන ඉති­හා­සයේ ඓති­හා­සික හැර­වුම් ලක්ෂ්‍ය­යක් ලකුණු කිරී­මට සමත්වූ එකකි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ෆ්ලේවියෝ බොල්සො­නාරෝ ඉදි­රි­ප­ත් වූයේ රාජ්‍ය විරෝධි කුම­න්ත්‍රණ චෝද­නා­වට වර­ද­කරු වූ නිවාස අඩ­ස්සියේ පසු­වන සිය පියා වන හිටපු ජනා­ධි­පති ජේවි­යර් බොල්සො­නාරෝ වෙනු‍ෙ­වනි. එහෙත් අමෙ­රි­කා­වට වුව­මනා ලෙස බ්‍රසී­ලයේ දේශ­පා­ල­නය සහ ආර්ථි­කය හසු­රු­වන බවට එරට බහු­තර ජන­තාව අතර දැඩි අප්‍ර­සා­ද­යට ලක්වී සිටි බැවින් බොල්සො­නාරෝ පවු­ලට නැවත රට භාර දීමට එරට ප්‍රග­ති­ශීලි ජන­තා­වගේ කැමැ­ත්තක් නොතිබූ බව පෙනේ.

2019 සිට 2023 වන­තුරු බ්‍රසී­ලයේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ ජේවි­යර් බොල්සො­නාරෝ නිවාස අඩ­ස්සියේ පසු­වන්නේ 2022 වසරේ අග­භා­ගයේ පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී , මැති­ව­රණ ප්‍රති­ඵ­ලය වෙනස් කිරිම සඳහා කුම­න්ත්‍ර­ණ­යක නිරත වූ බවට එල්ල වූ චෝද­නා­ව­ල­ටය. ඊට අම­ත­රව සිය මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු ප්‍රව­ර්ධ­නය කිරි­මට සහ මැති­ව­ර­ණ­යේදී වංචා සිදු වූ බව ප්‍රසිද්ධ කිරී­මට ඔහු රජයේ මාධ්‍ය අව­භා­විත කළ බවට ද චෝදනා එල්ල වී තිබිණි. බලය රැක ගැනීම සඳහා හමු­දාව සමඟ එක්ව කුම­න්ත්‍ර­ණ­යක නිරත වූ බව ද හමු­දාවේ ඉහළ නිල­ධා­රීන්ගේ සාක්ෂි­ව­ලින් හෙළි වී තිබිණි.

බොල්සො­නාරෝ පවුල

කුම­න්ත්‍ර­ණ­යට අදාළ චෝදනා කිහි­ප­යක් සම්බ­න්ධව 2024 නොවැ­ම්බ­රයේ බ්‍රසීල ෆෙඩ­රල් පොලී­සිය ඔහුට එරෙ­හිව අධි චෝදනා ගොනු කර­මින් ඔහු නිවාස අඩ­ස්සියේ රඳවා තැබී­මට පිය­වර ගෙන තිබිණි.

ඔහු නඩු විභා­ග­යට මුහුණ දිය යුතු බව පසු­ගිය වසරේ පෙබ­ර­වා­රියේ එරට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු කෙළේය. ඒ අනුව පැවති නඩු විභා­ග­යෙන් ඔහු වර­ද­කරු බවට තීන්දු වීම හේතු­වෙන් වසර 27කුත්, මාස 3ක සිර­ද­ඬු­වම් නියම වූයේ පසු­ගිය වසරේ සැප්තැ­ම්බ­ර­යේ­දීය. ඊට එරෙ­හිව බොල්සො­නාරෝ ඉදි­රි­පත් කළ සියලු අභි­යා­චනා ප්‍රති­ක්ෂේප විය. කෙසේ වෙතත් සෞඛ්‍ය ගැටලු මත මේ වසරේ මාර්තුවේ සිට ඔහු පසු­වන්නේ නිවාස අඩ­ස්සි­යේය.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්වූ ඔහුගේ වැඩි­ම­හල් පුත්‍රයා වන ෆ්ලේවි­යෝට ද චෝදනා රැසකි. එරට ආන්දෝ­ල­න­ය­කට තුඩු දුන් ඩොලර් මිලි­යන 900කට අධික මුදල් විශු­ද්ධි­ක­රණ චෝද­නා­වක් සම්බ­න්ධව ඔහුට එරෙ­හිව විම­ර්ශන කට­යුතු ද සිදු වෙමින් පවතී. මුදල් විශු­ද්ධි­ක­රණ චෝද­නා­වට අම­ත­රව බදු වංචා කිරීම්, විවිධ ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් නීති ­වි­රෝධි ලෙස අර­මු­දල් එක්රැස් කිරීම්, රාජ්‍ය මුදල් අව­භා­විත කර­මින් චොක­ලට් ව්‍යාපාර සහ නිවාස හා ඉඩම් මිල දී ගැනීමේ ව්‍යාපාර සම්බ­න්ධ­යෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබේ. ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන් වීමත් සමඟ සිය ගුව­න්ග­මන් බල­ප­ත්‍රය පැය 24ක් ඇතු­ළත පොලී­සි­යට භාර දෙන ලෙස එරට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඔහුට නියෝග කැර තිබූ අතර, ඊට පසු­දින ඔහු පවුල් පිටින් අමෙ­රි­කා­වට පළා ගියේය. බ්‍රසීල ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­ඵල දූෂිත බවට දිගින් දිග­ටම චෝදනා කරන අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් බොල්සො­නා­රෝගේ පුත්‍රයා ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන්ට වීසා නිකුත් කිරී­මට අනු­මැ­තිය ද ලබා දී තිබේ.

ඩිජි­ටල් ප්‍රචා­ර­ණය

මෙවර මැති­ව­ර­ණ­යේදී ලූලාගේ ජය­ග්‍ර­හ­ණය අධ්‍ය­ය­නය කිරි­මේදී කැපී පෙනෙන සාධ­කය වන්නේ ඔහුගේ ඩිජි­ටල් ප්‍රචා­රණ වැඩ­පි­ළි­වෙළ ය. බිම් මට්ටමේ දේශ­පා­ලන ජාල හරහා එරට ප්‍රග­ති­ශීලි ජන­තාව මිලි­යන ගණ­නා­වක් බොල්සො­නා­රෝගේ පරා­ජය වෙනු­වෙන් බළ­මුළු ගැන්වී­මට ලූලා සමත් වි තිබේ. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අඩු ආදා­ය­ම්ලාභී ඡන්ද­දා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා ජනා­ධි­ප­ති­ව­රණ කාල­සී­මා­වේදී දැවැන්ත ප්‍රචා­රණ ව්‍යාපා­ර­යක් දියත් කර තිබිණි. මීට පෙර සාම්ප්‍ර­දා­යික වෘත්තීය සමිති රැලි සහ රූප­වා­හිනී දැන්වීම් මත පද­නම් වූ ලූලාගේ මැති­ව­රණ ප්‍රචා­රණ ව්‍යාපා­රය ඉන්ස්ට­ග්‍රෑම්, වට්ස්ඇප් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ කෙටි වීඩි­යෝ­පට මඟින් ජන­තාව අත­රට ගියේය. එම­ඟින් ජනා­ධි­ප­ති­ව­ර­ණයේ අව­සන් කාල­සී­මා­වේදී තරුණ බොල්සො­නා­රෝගේ ඩිජි­ටල් ප්‍රචා­රණ යන්ත්‍ර­ණ­යට වඩා වැඩි ජන ආක­ර්ෂ­ණ­යක් ලබා ගැනී­මට ලූලා සමත්වූ බව පෙනේ. ඒ අනුව පළමු වට­යේදී ඡන්දය දීමෙන් වැළකී සිටි සැල­කිය යුතු ඡන්ද­දා­ය­ක­යන් පිරි­සක් දෙවැනි වට­යේදී ඡන්දය භාවිත කිරීම සඳහා යොමු කර­වී­මට ලූලාට හැකි­විය. දෙවැනි වට­යේදී අඩු ආදා­ය­ම්ලාභී කම්කරු පන්තියේ ජන­තාව අතර ඉහළ ඡන්ද භාවි­ත­යක් සිදුවී ඇති අතර, පළමු වටයේ ඡන්ද පර­ත­රය පියවා ගැනී­මෙන් නොනැ­වතී වැඩි ඡන්ද ලක්ෂ 44ක් දක්වා සිය ඡන්ද පද­නම ඉහළ නංවා ගැනී­මට ලූලා සම­ත්වූයේ ඒ අනු­වය.

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය

ලූලාගේ ඡන්ද ව්‍යාපා­රයේ ප්‍රධාන සටන් පාඨය වූයේ බොල්සො­නා­රෝ­වා­ද­යට එරෙ­හිව ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ස්ථාපිත කිරී­මය. එය ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සම්ම­ත­යන්, සිවිල් නිද­හස, අමෙ­රි­කානු ගැති­භා­වය සහ පාරි­ස­රික ආර­ක්ෂාව වෙනු­වෙන් කෙරෙන අර­ග­ල­යක් බඳු විය. සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වූ ලූලාගේ ප්‍රචා­රණ කට­යු­තු­ව­ලදී බොල්සො­නාරෝ පවුල බලයේ සිටි­යදී සිදු­කළ දූෂණ වංචා අනා­ව­ර­ණය වන්නට වූයේ තොග­පි­ටිනි. විශේ­ෂ­යෙන් කොවිඩ් වසං­ගත සම­යේදී සිදුවූ ඉහ­ළම මට්ටමේ දූෂණ වංචා සහ තැරැ­ව්ක­රු­වන් සමඟ පැවති සම්බ­න්ධතා පිළි­බඳ විම­ර්ශ­නා­ත්මක වාර්තා හෙළි­ද­රවු වූයේ ගෙඩි­පි­ටිනි.

ලූලාගේ පාලන සමයේ බ්‍රසී­ලයේ සිදුවූ සංව­ර්ධන කට­යුතු, ජනතා සුභ­සා­ධ­නය, දූෂණ වංචා අවම කිරී­මට විවිධ පිය­වර ගැනීම වැනි කාර්ය­භා­ර­යන් මෙවර මැති­ව­ර­ණ­යේදී නැවත නැවත ජන­තාව දැනු­වත් කිරි­මට භාවිත කැර තිබිණි. විශේ­ෂ­යෙන් ඇම­සන් වනා­න්තර විනා­ශය 70%කින් පමණ අඩු කිරිම, නීති­වි­රෝධි පතල් කැණී­ම්ව­ලට එරෙ­හිව දැඩි පිය­වර ගැනීම වැනි පිය­වර රැසක් ගෙන තිබූ අතර, එරට දේශීය ගෝත්‍රික ප්‍රජා­වන් සහ ජාත්‍ය­න්තර පාරි­ස­රි­ක­වේ­දීන් අතර දැඩි ලෙස පැස­සු­මට ද ලක්වී තිබිණි.

ලූලාගේ ජාත්‍ය­න්තර සම්බ­න්ධතා කෙරෙ­හිද මෙවර මැති­ව­ර­ණ­යේදි ජන­තා­වගේ අව­ධා­නය වැඩි වශ­යෙන් යොමු වන්නට ඇත. ඔහුගේ ප්‍රායෝ­ගික ද්විපා­ර්ශ්වික සබ­ඳතා ඇතුළු රාජ්‍ය­තා­න්ත්‍රික ක්‍රියා­මාර්ග එහිදී කැපී පෙනිණි. ඔහුගේ පාල­නය ජාත්‍ය­න්ත­රව හුදෙ­කලා වී ඇති බවට සහ ගෝලීය වෙළෙඳ සාකච්ඡා අසා­ර්ථක වී ඇති බවට එල්ල වූ චෝද­නා­ව­ලට සාර්ථක ප්‍රති­චාර දැක්වී­මට ලූලා සමත් වී තිබිණි.

ගෝලීය බල­පෑම

ඔහුගේ ජය­ග්‍ර­හ­ණය හුදෙක් බ්‍රසී­ලයේ අභ්‍ය­න්තර දේශ­පා­ල­නයේ පම­ණක් නොව ගෝලීය දේශ­පා­ලන හා ආර්ථික රටා­ව­ටම පොදුවේ බල­පා­න්නකි. ඉන්දි­යාව, රුසි­යාව හා චීනය සමඟ පව­තින බ්‍රික්ස් සංවි­ධා­නයේ එක්ස­ත්භා­වය එහිදී වඩාත් ඉහ­ළින් කැපී පෙනුණු බව මැති­ව­රණ විශ්ලේ­ෂ­ක­යන්ගේ අද­හස විය. අමෙ­රි­කා­වෙන් එල්ල වන බල­පෑම් හමුවේ ලතින් අමෙ­රි­කානු කලා­පයේ අනා­ග­තය සහ බ්‍රික්ස් සංවි­ධා­නයේ ඉදිරි ගමන කෙරෙහි ද එය වඩාත් බල­පෑම් සහිත එකකි. ඔහු සැම­වි­ටම පෙනී සිටියේ නොබැඳි සහ ස්වාධීන විදේශ ප්‍රති­ප­ත්ති­යක් වෙනු­වෙනි. අමෙ­රි­කාවේ භූ දේශ­පා­ල­නික ඉල්ලී­ම්ව­ලට යටත් නොවී චීනය හා රුසි­යාව වැනි රට­වල් සමඟ නිර­න්තර වෙළෙඳ හා දේශ­පා­ලන සබ­ඳතා ශක්ති­මත් කැර­ ගැ­නී­මට හා පව­ත්වා­ගෙන යෑමට පිය­වර ගැනීම අමෙ­රි­කානු විදේශ ප්‍රති­ප­ත්ති­යට සෘජු­වම එල්ල කළ අභි­යෝ­ග­යකි. අනිත් අතට ජාත්‍ය­න්තර වෙළෙ­ඳා­මේදී අමෙ­රි­කානු ඩොල­රය මත යැපීම අවම කිරී­මට සහ දේශීය මුදල් ඒක­කයේ භාවි­තය ප්‍රව­ර්ධ­නය කිරී­මට ලූලා ගෙන ගිය වැඩ­පි­ළි­වෙළ අමෙ­රි­කානු මූල්‍ය ආධි­ප­ත්‍ය­යට යම් බල­පෑ­මක් ද ඇති කර තිබිණි.

අපේක්ෂා

දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යන්ගේ අද­හස වී ඇත්තේ ලූලාගේ ජය­ග්‍ර­හ­ණය ලතින් අමෙ­රි­කානු සහ කැරි­බි­යන් රාජ්‍ය­යන්ගේ එක­මු­තුව සහ දකුණු අමෙ­රි­කානු වෙළෙ­ඳ­පොළ වැනි සංවි­ධාන නැවත බල­ගැ­න්වී­මට හේතු­වනු ඇති බවයි. අනිත් අතට කලා­පය පුරා ව්‍යාප්ත වෙමින් පව­තින අන්ත දක්ෂි­ණාං­ශික දේශ­පා­ලන මත­වා­ද­යන් ඔහුගේ ජය­ග්‍ර­හ­ණ­යෙන් දැඩි පසු­බෑ­ම­කට ලක්වී ඇති බවය. දකුණු අමෙ­රි­කාවේ විශා­ල­තම ආර්ථි­කය ලෙස අස­ල්වාසී කොලො­ම්බි­යාව, චිලි, ආජෙ­න්ටි­නාව වැනි රට­වල් සමඟ අර්ථික හා වෙළෙඳ සබ­ඳතා තහ­වුරු කර­මින් කලා­පයේ ස්ථාව­ර­ත්ව­යට නාය­ක­ත්වය සැප­යී­මට ලූලා සිය නව ධුර කාල­යේදී පිය­වර ගනු ඇතැයි ද අනා­වැකි පළ වී තිබේ. විශේ­ෂ­යෙන් ඔහු නැවත බල­යට පත්වීම බ්‍රික්ස් සංවි­ධා­නයේ බලය සැල­කිය යුතු ලෙස වර්ධ­නය කිරී­මට ඉව­හල් වනු ඇත. එය අමෙ­රි­කාව ඇතුළු බට­හිර රට­ව­ලට දැඩි අභි­යෝ­ග­යක් එල්ල වන වඩාත්ම බල­පෑම් සහිත සංවි­ධා­න­යකි. අමෙ­රි­කානු ගැති­වාදී බොල්සො­නා­රෝගේ පාලන සම­යේදි බ්‍රසී­ලය එම සංවි­ධා­නයේ ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට දායක වූයේ මන්ද­ගාමි ස්වරූ­ප­ය­කිනි. එහෙත් ලූලා යටතේ බ්‍රසී­ලය පසු­ගිය වසර කිහි­පය ඇතු­ළත නැවත සක්‍රිය දාය­ක­ත්ව­යක් ලබා දීමට සමත්වූ අතර, ඉදි­රි­යේදී එම සංවි­ධා­නය හරහා ලතින් අමෙ­රි­කාවේ ආර්ථි­ක­යට ශක්ති­මක් සැප­යී­මට ඔහු තව­දු­ර­ටත් පිය­වර ගනු ඇත.

ඒ අතින් බැලූ විට ලූලා ද සිල්වාගේ ජය­ග්‍ර­හ­ණය හුදෙක් බ්‍රසී­ලයේ ප්‍රග­ති­ශීලි ජන­තාව ලද ජය­ග්‍ර­හ­ණ­යෙන් ඔබ්බට ගිය බහු­විධ ලෝක බල­තු­ල­න­යක් කරා ගමන් කිරීමේ පැහැ­දිලි ලකු­ණක් බවට පත්වී තිබේ. එය අමෙ­රි­කාවේ ඒක­පා­ර්ශ්වික බල­පෑ­මට අභි­යෝග කර­මින් ලතින් අමෙ­රි­කානු කලා­පීය සහ­යෝ­ගි­තාව සහ බ්‍රික්ස් සංවි­ධා­නයේ ගෝලීය ස්ථාන­ග­ත­වීම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට හේතු­වනු ඇත.

ෆවුස් මොහො­මඩ්

දිණමිණ පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp