
මැද පෙරදිග උණුසුම් තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යෑම සහ එමඟින් දූපත් රාජ්‍යයේ ආර්ථික ක්‍රියාකාරකම්වලට එල්ල වන බලපෑම හමුවේ, පසුගිය වසර දෙකට සාපේක්ෂව මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2022 වසරේ ඇති වූ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින ශ්‍රී ලංකාව, ඊට පෙර වසරේ ආර්ථිකය හැකිලීමකට ලක්වීමෙන් අනතුරුව 2023 සහ 2024 යන වසර දෙකේදීම සියයට 5ක වර්ධනයක් වාර්තා කෙළේය.
කෙසේ වෙතත්, මැද පෙරදිග අර්බුදයේ බලපෑම හේතුවෙන් මෙම වසරේදී එම වර්ධන වේගය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ වන විටත්, මෙම වසරේ දෙවැනි කාර්තුවේදී රටේ ආර්ථික වර්ධනය සියයට 4.2ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පසුගිය කාර්තු අටක කාලය තුළ වාර්තා වූ අඩුම අගයයි.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කෙළේ මෙම වසරේ දෙවැනි භාගය ඇතුළුව සමස්ත වසර පුරාම ආර්ථික වර්ධනය සියයට 4කට වඩා වැඩි මට්ටමක පවතිනු ඇති බවයි.
“නිශ්චිත අගයක් ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩියි කියා මම හිතනවා. නමුත් ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ දර්ශක සහ සිදුවෙමින් පවතින සැබෑ ක්‍රියාකාරකම් පදනම් කරගෙන බලන විට, ඉදිරි කාර්තු දෙක තුළ එනම් වසරේ දෙවැනි භාගයේදීත් වර්ධනය සියයට 4ට වඩා ඉහළින් පවතිනු ඇතැයි පෙනී යනවා,” යනුවෙන් අධිපතිවරයා මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
“වසරේ අර්ධ දෙකේදීම වර්ධනය සියයට 4ට වඩා වැඩි වනු ඇතැයි අප දකිනවා. නමුත් වාර්ෂික පුරෝකථනයක් අපි තවම සිදු කැර නැහැ; ඒ ගැන පසුව බලමු.”
ජනවාරි මාසයේදී මහ බැංකුවේ මෙම වසර සඳහා වන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ එළිදක්වමින් වීරසිංහ මහතා ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 4ත් 5ත් අතර මට්ටමක පවතිනු ඇති බවයි.
ජූනි මාසයේදී මුදල් රාජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම සහ මිල ඉහළ යාම හමුවේ පාරිභෝජනය අඩුවීමක් දක්නට ලැබුණද, මෙම වසරේදී සියයට 5ක ආර්ථික වර්ධනයක් ළඟා කැර ගැනීමට ශ්‍රී ලංකාව තවදුරටත් බලාපොරොත්තු වන බවයි.
“රජයේ පුරෝකථනය රජයට අදාළ කාරණයක්. ඒ පිළිබඳව අදහස් දැක්වීම සුදුසු යැයි මම හිතන්නේ නැහැ,” යනුවෙන් අධිපතිවරයා පැවසීය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සියයට 3.5ක අගයක් පුරෝකථනය කැර තිබෙනවා. රජයටත් යම් පුරෝකථනයක් තිබෙනවා, ලෝක බැංකුව පුරෝකථනයක් ලබා දී තිබෙනවා, ආසියානු සංවර්ධන බැංකුව (ADB) තවත් පුරෝකථනයක් ලබා දී තිබෙනවා; ඒ සියල්ල පදනම් වී ඇත්තේ ඔවුන්ගේම උපකල්පන මතයි. අපට අදහස් දැක්විය හැක්කේ අපගේ පුරෝකථන පිළිබඳව පමණයි.”
economynext -ඇසුරෙන්
