Impartial news reporting for a stronger democratic society
රුසියාවේ ගුවන් ප්‍රහාරවලින් යුක්රේනයේ බලශක්ති ජාලය විනාශයි !

යුක්රේනයේ බලශක්ති ජාලය ඉලක්ක කැර ගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් රුසියාව එල්ල කර තිබේ.

 කියෙව් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක බලශක්ති පහසුකම් සහ යටිතල පහසුකම් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, ගත වූ මාස කිහිපය තුළ වාර්තා වූ බරපතළම ඒකාබද්ධ ප්‍රහාරය මෙය බව බලධාරීහු පවසති. මෙම ප්‍රහාර හමුවේ කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රහාරයත් සමඟ කියෙව් අගනුවර සහ ඒ අවට ප්‍රදේශ තුනක හදිසි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට යුක්රේන රාජ්‍ය විදුලිබල ක්‍රියාකරු වන ‘උක්‍රෙනර්මෝ’ (Ukrenergo) ආයතනය පියවර ගත්තේය. මේ වසරේ වසන්ත සමයෙන් පසු අගනුවර තුළ මෙවැනි හදිසි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වේ. පසුගිය ශීත ඍතුවේදී රුසියානු ප්‍රහාර හමුවේ දැඩි ලෙස විනාශ වූ විදුලි හා උණුසුම්කරණ පද්ධති හේතුවෙන් යුක්රේන ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වූ අතර, ඉදිරි ශීත ඍතුවට පෙර අගනුවර අඳුරට හා සීතලට ඇද දැමීමේ අරමුණින් මෙම ප්‍රහාර මාලාව දියත් කැර ඇති බවට බිය පළ වී ඇත.

ප්‍රහාරයේ බලපෑම හේතුවෙන් අගනුවර විදුලි ට්‍රෑම් රථ සහ ට්‍රොලි බස් රථවල ගමනාගමනය ඇණහිට ඇති අතර, ජල සැපයුම් පද්ධතිවල පීඩනයද පහත වැටී ඇති බව කියෙව් ජල ජාලය සඳහන් කරයි. ගම්බද ප්‍රදේශවල ප්‍රධාන තාප විදුලි බලාගාරයක් ඇතුළු බලශක්ති ස්ථාන රැසකට බරපතළ හානි සිදුවී ඇති අතර, අගනුවර සහ ඒ අවට ප්‍රදේශ මුළුමනින්ම දුමාරයෙන් වැසී ගොස් තිබිණි.

යුක්රේන ගුවන් හමුදාව ප්‍රකාශ කළේ රුසියාව යෙදවූ ඩ්‍රෝන මඟින් 254ක්ම මැඩපැවැත්වීමට තම ගුවන් ආරක්ෂක පද්ධති සමත් වූ බවයි. කෙසේ වෙතත්, වේගයෙන් ගමන් කරන ජෙට් එන්ජින් සහිත ඩ්‍රෝන සහ බැලස්ටික් මිසයිල රැසක්ද මේ සඳහා යොදාගෙන තිබූ බව ඔවුහු පවසති. ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කෙළේ ප්‍රාන්ත පහක තීරණාත්මක යටිතල පහසුකම් වලට හානි සිදුව ඇති බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp