Impartial news reporting for a stronger democratic society
කියුබාවේ හෙට දවස සහ අධිරාජ්‍යවාදී කැලෑ නීතිය

කියුබාව මේ වන විට 1959 විප්ලවයෙන් පසු මුහුණ දෙන බරපතළම ආර්ථික හා බලශක්ති අර්බුදයකට මැදිවී සිටී. අමෙරිකාව විසින් පනවනු ලැබූ ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් එරට ජනතාව අතිශය දුෂ්කර ජීවන රටාවක් ගෙවමින් සිටින අතර, ඉන්ධන හිඟය හේතුවෙන් රට පුරා විදුලි විසන්ධි වීම් නිරන්තරයෙන් සිදුවෙමින් පවතී.

අමෙරිකා අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම්වලින් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ සහ ඉන්ධන ආනයනය සීමා වී ඇති අතර, ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය සැලකිය යුතු ලෙස බිඳ වැටී තිබේ. වැඩි වශයෙන් වෙනිසියුලාවේ ඉන්ධන මත යැපෙන කියුබාවේ බලශක්ති හිඟයට හේතු වූයේ අමෙරිකානු හමුදාවෙන් වෙනිසියුලාව ආක්‍රමණය කිරීමෙන් පසුව එරටින් ආනයනය කරන ඉන්ධන තොග අවහිර වීමය. එය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒකපාර්ශ්වික තීන්දු තීරණ ගැනීමේ ප්‍රතිඵලයකි.

එම සම්බාධක ලිහිල්වීමක් සිදුවන්නේ නම්, කියුබාවේ ආර්ථිකයට යම් සහනයක් ලැබෙනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. එසේ නොවන්නේ නම්, රුසියාව හා චීනය වැනි කොමියුනිස්ට් හිතවාදීන් මෙන්ම ඉරානය සමඟත් ආරක්ෂක සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කැර ගැනීමට කියුබාව පියවර ගත යුතුව තිබේ. එහෙත් මේ රටවල් ත්‍රිත්වය සමඟ අමෙරිකාවට ඇති ආර්ථික විරසක භාවය හේතුවෙන් එවැනි පියවරක් අනුගමනය කිරීමේ දුෂ්කරතාවන් ද පවතීන බව තේරුම් ගතයුතු කරුණකි. එවැනි පසුබිමක් තුළ කියුබාව දැනට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් කඩිනම් හා ව්‍යූහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස් පළ වී තිබේ.නමුත් ව්‍යූහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයන් සිදු විය යුත්තේ කියුබානු ජනතාවගේ අවශ්‍යතාවයන් වලට අනුව මිස අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා මත නොවේ.

විරසකයේ ඇරඹුම

දිගු කාලයක සිට අමෙරිකා අධිරාජ්‍යවාදීන් විසින් කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික හා මූල්‍ය සම්බාධක මෑත ඉතිහාසයේ රාජ්‍යයක් වෙත පනවා ඇති දීර්ඝතම ඒකපාර්ශ්වික සම්බාධක මාලාවකි. වසර 1959 දී ෆිදෙල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් සිදු වූ කියුබානු විප්ලවයෙන් පසු එරට අමෙරිකානු සමාගම් හා දේපළ තහනම් කිරීමට පියවර ගැනීමට එරෙහිව 1960 දී එවකට අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩ්වේට් ඩී. අයිසෙන්හෝවර් විසින් කියුබාවට සීනි අපනයනය තහනම් කිරිමෙන් ආරම්භ වූ එම සම්බාධක මාලාව අනතුරුව 1962 දී පත්වූ ජෝන් එෆ්. කෙනඩි තවදුරටත් පුළුල් කරනු ලැබුණි. කියුබාව සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳාම මුළුමනින්ම තහනම් කිරීමටද පියවර ගත්තේය. වෙනත් රටවල පිහිටි අමෙරිකානු සමාගම්වල අනුබද්ධිත සමාගම්වලට පවා කියුබාව සමඟ වෙළෙඳ කටයුතු කිරීම තහනම් කෙරිණි. කෙසේ වෙතත් 2014 – 2016 අතර කාලසීමාවේදී එවකට කියුබාවේ ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ සහ අමෙරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමා අතර ඇතිකරගත් ඓතිහාසික එකඟතාවකින් පසු දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ වීමෙන් ගුවන් ගමන් සහ සංචාරක සීමා ලිහිල් කෙරිණි.

එහෙත් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී ඔබාමාගේ පාලනය යටතේ කියුබාව සමඟ පැවැති සියලු ආකාරයේ සබඳතා ආපසු හැරවීමට පියවර ගත් අතර, වර්තමානය වන විට එය තවදුරටත් පුළුල් කරමින් සිටී. අමෙරිකානු අධිරාජ්‍යවාදීන් පවසන්නේ කියුබාව ත්‍රස්තවාදයට අනුග්‍රාහකත්වය දක්වන රාජ්‍යයක් ලෙසයි. අමෙරිකාවේ මේ ඊනියා විහිළු තිරණය නිසා කියුබාව අද දැඩි ආර්ථික අර්බුදයට මුහුණ දී තිබේ. එය අමෙරිකාව සමඟ ඍජු වෙළෙඳ තහනමකට පමණක් සීමා වූවක් නොව, ගෝලීය මූල්‍ය පද්ධතිය පුරා විහිදී ගිය එකකි. කියුබාව ත්‍රස්තවාදයට සහාය දෙන රාජ්‍යයක් ලෙස ලෝකය ඉදිරියේ බොරු ලේබලයක් ගැසීමේ හේතුවෙන් ජාත්‍යන්තර බැංකු කියුබාව සමඟ ගනුදෙනු කිරීමට ඉදිරිපත් නොවූ අතර, විදේශ ආයෝජන ලබා ගැනීමේ දුෂ්කරතාවන්ට අද මුහුණ දී සිටි.

ජනපති මිගේල්ගේ ඓතිහාසික දේශනය

වත්මන් ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් විසින් ෆිදෙල් කැස්ත්‍රෝගේ සියවස් සැමරුම් උත්සවයේදී සිදු කළ දේශනය කියුබාව වර්තමානයේ මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හා අමෙරිකාවේ කෲරත්වය පිළිබඳ වඩාත්ම පැහැදිලි චිත්‍රයක් ගොඩ නඟා ගැනීමට ජාත්‍යන්තරයට අවස්ථාවක් උදා විය. පසුගිය අගෝස්තුවේ මුල් භාගයේ හවානා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති ‘ෆිදෙල්- උරුමය සහ අනාගතය’ තේමාව යටතේ ජනාධිපති මිගෙල් එම දේශනය සිදු කළේය. ෆිදෙල් සියවස් සැමරුමට රටවල් 63කින් පැමිණි අමුත්තන් 900ක් ඇතුළුව 1500කට වැඩි පිරිසක් ඔහුගේ දේශනය ශ්‍රවණය කිරීමට ඒ මොහොතේ ශාලාවේ රැස්වී සිටියහ.

ජනාධිපති මිගෙල් කියා සිටියේ, සිය ජීවිතයම කියුබාවේ නිදහස වෙනුවෙන් කැප කළ ෆිදෙල් කැස්ත්‍රෝට දක්වන විශාලතම උපහාරය වන්නේ ඔහු ලබා දුන් ජයග්‍රහණය සුරැකීම බවය. එය කියුබාවේ වත්මන් පරපුර හමුවේ ඇති විශාලතම අභියෝගය බව ද ඔහු කියා සිටියේය. ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යය හමුවේ යටත් නොවීමට ෆිදෙල් කැස්ත්‍රෝ ගනු ලැබූ විප්ලවීය තීරණය වෙනුවෙන් සාමුහික දඬුවමක් ලෙස ජාතිය විනාශ කිරීමේ උත්සාහයක් පවතින බවත්, දශක හයකට වැඩි ආර්ථික, මූල්‍ය සහ වෙ‍ෙළඳ අවහිරතා සහ මාස හතක බලශක්ති සම්බාධක මඟින් පනවා ඇති දරුණු සීමා කිරීම් හමුවේ කියුබාව අර්බුදයකට ගොදුරු වී ඇති බවත් ජනාධිපති මිගෙල් සිය දේශනයේදී ජාත්‍යන්තරයට කීවේය.

වර්තමානය වන විට පවතින දැඩි විදුලි බල විසන්ධි වීම්, ජල හිඟය, ඉහළ යමින් පවතින භාණ්ඩ මිල කියුබාවේ ජනතාව ඛේදනීය ජීවන රටාවක් වෙත තල්ලු කැර ඇති අතර, ප්‍රමාණවත් ඖෂධ ආනයනය කිරීමට නොහැකිවීමෙන් එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද දැඩි අර්බුදයක් මතුවී තිබේ. එරට රෝහල්වල දරුවන් 12,000ක් ඇතුළුව රෝගීන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින බව ජනාධිපතිවරයා සිය දේශනයේදී ලොවට කීවේය. සැබැවින්ම කියුබාව යනු ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය අතින් වඩාත්ම දියුණු රාජ්‍යයකි. ඕනෑම ආකාරයක සැත්කමක් සිදු කිරීමේ හැකියාව සහ පහසුකම්වලින් සමන්විත රාජ්‍යයකි.

එහෙත් මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදය හේතුවෙන් එවැනි සැත්කම් සිදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් දැන් නොමැත. ශල්‍යාගාරවලට විදුලිය ලබා දීමට බලශක්තිය නොමැත. මෑත කාලයේදී උපත ලැබූ අවුරුද්දකට අඩු වයසේ පසුවන බිලිඳුන් 67,000කට ප්‍රතිශක්තිකරණය ලබා දී නැති අතර, පිළිකා රෝගී වැඩිහිටියන් 1,17,000කට සහ දරුවන් 1,200කට මූලික ප්‍රතිකාර නිසි පරිදි නොලැබෙන බව ජනාධිපති මිගෙල් ලොවට හෙළි කළේය. දීර්ඝ කාලයක් පුරා එරට ළමා මරණ අනුපාතය වාර්තා වූයේ 4ක් වැනි ඉතා අඩු මට්ටමකය. එය සංවර්ධිත රටවල දක්නට ලැබෙන ළමා මරණ අනුපාතයට සමානය. එහෙත් මේ වන විට කියුබාවේ ළමා මරණ අනුපාතය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කෙළේය.

එක්සත් ජාතීන්ගේ භූමිකාව

අමෙරිකාව විසින් අත්තනෝමතික ලෙස කියුබාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක පිළිබඳ දිගු කාලයක සිට මහා මණ්ඩල සැසිවාරයේ කතාබහට ලක්වෙයි. ඊට එරෙහිව රටවල් රැසකින් අමෙරිකාවට චෝදනා එල්ල වෙමින් පවතී. එහෙත් ඒ සියල්ල සීමා වී ඇත්තේ ප්‍රකාශ නිකුත් කිරීමට පමණි. කියුබාවට එරෙහිව අමෙරිකාව විසින් පනවා ඇති නීතිවිරෝධි ඒකපාර්ශ්වික බලහත්කාරි පියවර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 වැනි වගන්තිය උල්ලංඝනය කරන බව සියලු සැසිවාරවලදී යළි යළිත් ප්‍රකාශ වීම පමණි. කියුබාවේ පරමාධිපත්‍යයට එරෙහි සියලු තර්ජන හා සතුරු ක්‍රියා වහාම අවසන් කළ යුතු බවත්, ජාත්‍යන්තර නීතියට පටහැණිව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ යුතු බවත් අවධාරණය කරමින් නිවේදන නිකුත් කිරීම පමණි. සෑම වසරකම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවලදී කියුබාවේ අමෙරිකානු සම්බාධකවලට එරෙහිව යෝජනාවක් සම්මත වන අතර, 2023 සහ 2024 වසරවලදී අමෙරිකාව හා ඊශ්‍රායලය හැර ලොව සෙසු රටවල් 180කට වැඩි සංඛ්‍යාවක් එම සම්බාධකවලට එරෙහිව ඡන්දය ප්‍රකාශ කැර තිබිණි. එහෙත් අදටත් කියුබාවට පනවා ඇති සම්බාධකවල අවසානයක් නොමැති බව පෙනේ.

අධිරාජ්‍යවාදී කැලෑ නීතිය

මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී කියුබානු විදේශ ඇමැති බෘනෝ එඩ්වෝඩෝ රොඩ්‍රිගස් විසින් සිදු කරන ලද දේශනය සියලු රටවල අවධානයට ලක්වූ එකකි. එය අධිරාජ්‍යවාදී කැලෑ නීතියට එරෙහිව සිදු කළ අනතුරු ඇඟවීමකි. ලතින් අමෙරිකාවේ සහ කැරිබියන් කලාපයේ උග්‍ර වෙමින් පවතින අමෙරිකානු හමුදාමය සහ ආර්ථික බලපෑම් මඟින් ජාත්‍යන්තර නීතිය තර්ජනයට ලක්වී ඇතැයි ඔහු සිය දේශනයේදී කියා සිටියේය. කියුබාව හුදෙකලා කිරීමට සහ අඩපණ කිරීමට අමෙරිකාව දශක ගණනාවක් පුරා සිදු කරමින් සිටින මේ නීතිවිරෝධි ක්‍රියා කලාපය ඔහු හෙළා දුටුවේය. වර්තමානයේ ජාත්‍යන්තරයේ ව්‍යාප්තවාදය, අත්පත් කරගැනීම් සහ සූරා කෑම් මෙන්ම හමුදාමය හා ආර්ථික ආක්‍රමණශීලිත්වයේ බියකරු වර්ධනයක් දක්නට ලැබෙන බව කියුබාවේ විදේශ ඇමැතිවරයා ලෝක රාජ්‍ය නායකයන් හමුවේ පැවැසීය. රටවල් රැසක ස්වෛරීභාවය ඇතුළුව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම දැඩි ප්‍රහාරයකට ලක්වී ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී හා කාර්යක්ෂම කරමින් ගෝලීය ප්‍රජාවට වඩාත් සමීපව ශක්තිමත් කළ යුතු බවත් ඔහු අවධාරණය කෙළේය.

මේ වනවිට අමෙරිකාව සම්බාධක පැනවීම්වලින් නොනැවතී කියුබාවට ඉන්ධන අපනයනය කරන රටවලට තර්ජනය කරමින් සිටින බවත්, බලශක්ති අවහිරතාවක් සිදු කර ඇති බවත් කියුබානු විදේශ ඇමැතිවරයා ජාත්‍යන්තරයට හෙළි කළ අතර, කියුබාව වෙත එන භාණ්ඩ හා සේවා සඳහා නව සීමාවන් පැනවීමට කටයුතු යොදා ඇතැයි චෝදනා කළේය. කියුබාව අමෙරිකාවට තර්ජනයක් බවට කෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “කියුබාව තර්ජනයක් නොවෙයි, තර්ජනය වන්නේ සම්බාධකයි. මේ සම්බාධක එල්ල කර ඇත්තේ කියුබාවේ ජනතාවටයි” යනුවෙනි. අධිරාජ්‍යවාදී රටවල කැලෑ නීතිය කිසිදිනෙක මානව වර්ගයාගේ අනාගතය බවට පත් නොවිය යුතු බව සඳහන් කරමින් කියුබාවේ විදේශ ඇමැතිවරයා ලොවට දුන් පණිවුඩය වන්නේ, ‘ඉටු නොවූ විශාල බලාපොරොත්තු සහිත සිහිනයක් ලෙස ඉතිහාසයට එක්වීමේ අවදානමෙන් මිදීමට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැබෑ භූමිකාව නැවතත් තහවුරු කිරීමට පියවර ගත යුතු බවය.

ෆවුස් මොහොමඩ්

Follow by Email
LinkedIn
Share
WhatsApp