
අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කර ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඊයේ (30) කොළඹ මහාධිකරණය තවත් වරෙන්තු නිකුත් කෙරිණි.
2014 වසරේ කොම්පඤ්ඤවීදියේ පැවති මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාව යටතේ පවරන ලද නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ ඊයේ (30දා) විත්තිකරු පෙනී නොසිටීම නිසා චුදිත අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කෙරිණි.
නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන බවට චුදිතගේ නීතිඥවරු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් නඩුව වෙනත් දිනයක කැඳවන ලෙස ඉල්ලා සිටියහ.
එම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කළ මහාධිකරණ විනිසුරුවරයා එහි චුදිත විවේක ගත යුතු බවට නිර්දේශ කර ඇතත් රෝගී තත්ත්වය ගැන විස්තරයක් දක්වා නොමැති බව කියා සිටියේය.
විත්තිකරු විවේක ගනිමින් සිටින්නේ කොතැනකදැයි අනතුරුව අධිකරණය චුදිතගේ ගෝල හිමියන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. ඥානසාර හිමියන් නාවල විහාරස්ථානයේ නොමැති බවත් සිටින තැනක් නොදන්නා බවත් දැනුම් දෙන ලදි.
ඉන්පසු අධිකරණය විත්තිකරුගේ ඇපකරුවන් පෙනී සිටින්නේද යන්න පරීක්ෂා කෙළේය.
එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ෂිරාස් තවුෆික් මහතා කරුණු දක්වමින් විත්තිකරුට අභියාචනාධිකරණයෙන් වරෙන්තු නිකුත් කැර ඇති බව පවසා සිටියේය.
විදේශගත කාන්තාවකට අයත් නිවෙසක බලහත්කාරයෙන් රැඳී සිටීමේ චෝදනාව යටතේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකරුට එරෙහිව පවරා ඇති නඩුවක අභියාචනයක් විභාග කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාර භික්ෂුව වැරදිකරු කැර ඇති බවත් එම නඩුව අද (01දා) කැඳවීමට නියමිත බවත් අධිකරණයට වාර්තා විය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, ඥානසාර හිමියන් අධිකරණයට පිළිගත හැකි සුදුසු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම සැලකිල්ලට ගනිමින් වරෙන්තු නිකුත් කිරීමට තීරණය කෙළේය.
කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තු නිකුත් කැර තිබේ. ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගෙන නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට ඥානසාර හිමියන් මීට පෙර අධිකරණයෙන් කළ ඉල්ලීමට අදාළව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීමටද නියමිතව තිබුණේ ඊයේ (29) දිනයටය.
කොම්පඤ්ඤවීදියේ පදිංචි නූර්ඩීන් මොහොමඩ් තාජුඩීන් නමැත්තා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 291 (ආ) වගන්තිය යටතේ නඩුව පවරා ඇත.
විත්තිය වෙනුවෙන් නීතිඥ අශෝක වීරසූරිය සමඟ පසන් කරුණාරත්න, ආකර්ෂා වීරසූරිය පෙනී සිටියහ. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ෂිරාස් මොහිදින්ගේ උපදෙස් පිට එම්.කේ. පර්සාන්, ෂිරාස් තවුෆික් යන නීතිඥයෝ පෙනී සිටියහ.
දිනමිණ – චන්දන ජයවීර
