
සිය කුසින් උපන් දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා වැයවන මුදල් සොයා ගැනීමේ අරමුණින් 47 හැවිරිදි ඉන්දියාවේ දිරිය මවක් මැරතන් තරගයකට ඉදිරිපත් වී ඉන් ජය ගෙන ඇත.

ඉන්දියාවේ මහාරෂ්ට්‍ර ප්‍රාන්තයේ ජිවත් වන රාම්බායි රන්වීර් නමැති ඇය සිය දරුවන්ට පොත්පත් මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමේ අරමුණීන් මෙම මැරතන් තරගයට ඉදිරිපත් වි ඇත.
මහාරෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවති කිලෝමිටර් 3ක මැරතන් තරගයේ අවුරුදු 30-60 අතර වයස් කාණ්ඩයේ තරගයෙන් ඇය ජයගෙන ඉන්දියන් රුපියල් තුන්දහසක තෑගි මුදලක් දිනාගත් බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවයේ වාර්තාවක් උපුටා Cyber World Press සඳහාන් කරයි.
මහාරෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්බාජෝගායි නගරයේ අධ්‍යාපනික ආයතනයක 75 වැනි සංවත්සරය වෙනුවෙන් මෙම මැරතන් තරගය පවත්වා ඇති අතර, ඇයට වඩා වයසින් අඩු ජවසම්පන්න තරගකාරිනියන් රැසක් සහභාගි ඇත. කිසිදු පුහුණුවක් නොමැතිව හා ක්‍රීඩා ඇඳුම් සහ පාවහන් නොමැතිව සාරියෙන් සැරසී තරගයට ඉදිරිපත් වූ ඇය තරගයෙන් ජයගත් ආකාරය දැක්වෙන වීඩියෝ පටය සමාජ මාධ්‍යවල දැඩි අවධානය දිනාගත් බව ද වාර්තා වේ. තරගය අතරතුර ඇගේ සෙරෙප්පු යුවළ මඩ සහිත මාර්ගයේ ලිස්සා යෑම හේතුවෙන් ඒවා ගලවා අතට ගෙන දෙපයින්ම ඉදිරියට දිව ගිය ඇය තරගයෙන් ජයග්‍රහණය අත්කර ගැනීම විස්මයජනක බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය සඳහන් කළ බව Cyber World Press වාර්තා කරයි.
