
මුහම්මද් නබිතුමන්ට සහ ඉස්ලාම් ධර්මයට අවමාන් වන අයුරින් සිය මුහුණු පොතේ සටහනක් තැබීමේ වරදට වැරදිකරු වී මරණ දඬුවම නියම වු සෞදි අරාබියේ සිටින ශ්‍රී ලංකාවේ තරුණයකු බේරා ගැනීමට මෙරට මුස්ලිම් දේශපාලනඥයන් සහ ක්‍රියාකාරීන් විශාල පිරිසක් උත්සහ දරමින් සිටින බව අනාවරණය වෙයි.
මෙසේ මරණ දඩුවම නියම වී ඇත්තේ ශ්‍රී ලංකාවේ උපන් දෙමළ තරුණයකු වන අනෝජන් සිවරාසන්ය.
සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ අභියාචනාධිකරණය අනෝජන් සිවරාසාට මරණ දඬුවම පැනවූ පසුගිය සැප්තැම්බර් 16 දා, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඔහුගේ පියාට අරාබි බසින් ගොනු කරන ලද අභියාචනයේ පිටපතක් සහ දල ඉංග්‍රීසි පරිවර්තනයක් යවා ඇති අතර, පවුලේ සාමාජිකයන්ට කියවිය හැකි දෙමළ බසින් පරිවර්තනයක් ද ඒ සමඟ යවා නැති බව වාර්තා වෙයි.
එයින් හෙළිදරව් වන පරිදි අනෝජන් පළ කළ නබි තුමාට අපහාසාත්මක ලෙස සැලකෙන ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් මුලින් පනවන ලද අවුරුදු පහක සිර දඬුවම සහ සවුදි රියාල් තිස් ලක්ෂයක දඩය එරට සයිබර් අපරාධ විරෝධී නීතිය අනුව දිය හැකි උපරිම දඬුවමය වෙයි.
අම්පාර, කල්මුනේ නට්පිටිමුනෙයි පදිංචි තම්බිරාසා සිවරාසා පියා සහ මව වන යෝගලෙච්චුමි සිවරාසා කඳුළු සලමින් මාධ්යඹ ඔස්සේ ඉල්ලා ඇත්තේ සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති තම පුත්‍රයා නිදහස් කැර ගැනීම සඳහා දෙරටේම බලධාරීන් කරුණාව පෙරදැරි කැරගෙන කටයුතු කළ යුතු බවයි.
සිවරාසා අනෝජන්ට මුලින් වසර පහක සිරදඬුවමක් සහ රියාල් තිස්ලක්ෂයක වන්දියක් ද අල් අහ්සා අපරාධ අධිකරණයෙන් ජූලි 15 දා නියම කැර තිබු අතර යෝගලෙච්චුමි සිවරාසා පවසන්නේ අභියාචනයෙන් අනතුරුව තමන්ට මරණ දඬුවමක් පනවා ඇතැයි අනෝජන් දුරකථනයෙන් පැවසු බවයි.
අනෝජන් පෝරකයට නියම කල දාට දින දෙකකට පසු නිකුත් කරන ලද නිවේදනයකින් ‘තත්ත්වය සමීපව අධීක්ෂණය කරන’ බව පවසන විදේශ අමාත්‍යංශය මරණ දඬුවම පැනවීම ගැන කිසිදු සඳහනක් කැර නැත.
නීතියේ අරමුණ සහ සමානුපාතික නොවන දඬුවම
සිවරාසා පවුල දුකසේ රැස් කැර දුන් රුපියල් දහඅට ලක්ෂයක් යොදවා ශ්‍රී ලංකා රජය අල්ලා ගන්නා ලද සෞදි අරාබියේ හිස්න් ඇලන්සිමා ඒක පුද්ගල සමාගමේ නීතිඥ අද්ලාන් අබ්දුල්ලා අල් සුබේ ගොනු කළ පිටු දෙකකින් යුත් ඇපෑලෙන් අදාළ උපරිම දඬුවම් දෙකම එකට පැනවීම කළ වරදට සමානුපාතික ද යන්න බරපතළ ලෙස සලකා බැලිය යුතු බවට යෝජනා කැර තිබේ.
කරන ලද ක්රියාවේ බරපතලකම හෝ එහි වරදකාරී බව ප්‍රතික්ෂේප නොකරන තම සේවාදායකයා, ආගමේ පුජනීය භාවය පහත හෙලන්නට ඉල්ලා සිටින්නේ හෝ කළ වරදේ බරපතළ කම අවතක්සේරු කරන්නේ හෝ නැති බව කියා සිටින නීතිඥවරයා පෙන්වා දෙන පරිදි ෂරියා නීතියේ ටාසීර් නමින් හැඳින්වෙන මුලධර්මය අනුව දඬුවමක් දිය යුතු වන්නේ වැලැක්වීම සහ පුනරුත්ථාපනය අරමුණු කොටගෙන බවයි. එසේ නොකර දඬුවම අවසානයේ නීතියේ අරමුණින් වියෝවන තැනට පත් වීම නුසුදුසුය.
ෆේස්බුක් සටහන පලකරන ලද්දේ වාග් සංග්‍රාමයක් අතරතුර හටගත් කෝපයෙන් යයි අනෝජන් පැවසූ බව මුල් නඩු විභාගයේදී පවසා තිබේ. එම සටහන පළ කිරීමෙන් විනාඩි 10 ක් තුළදී පෝස්ටුව ගලවා දැමූ බව ඔහු අධිකරණයට පවසා තිබේ.
“සටහන කඩිනමින් ගලවා දැමීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මගේ සේවාදායකයා එය දිගටම පළ කිරීම හෝ නැවත පළ කිරීම සිදු නොකළ බවයි. එමෙන්ම එය තවත් බෙදාහැරීම සැලසෙන පරිදි ඔහු එය වුවමනාවෙන් දීර්ඝ කාලයක් තිබෙන්නට ඉඩ හරියේ නැත,” යි නීතිඥ අල් සුබේ තර්ක කැර ඇත.
ප්‍රස්තුතයට අදාළ එකම එක පෝස්ටුවක් පමණක් පළ කැර ඇති අනොජන්, ඊට පෙර එවැනි දෑ සිදු කැර නැති බවත් ඔහුගේ ගිණුම ඒ වෙනුවෙන් පමණක් පවත්වාගෙන යනු ලැබුවක් නොවන බවත් අභියාචනයේ සඳහන් වෙයි.
පෙර වැරදි නොමැති සිය සේවාදායකයා පිළිබඳව සලකා බලා අවුරුදු පහේ සිර දඬුවම ලිහිල් කරන ලෙසත් චුදිත තරුණයාගේ ආර්ථික තත්ත්වය සලකා බලා දඩය සැලකිය යුතු මට්ටමකින් අඩු කරන ලෙසත් නීතිඥ අද්ලාන් අබ්දුල්ලා අල් සුබේ තම අසාර්ථක අභියාචනයෙන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
“මනුෂ්‍ය ජීවිතයක් බිලිගැනීම අනුමත කළ නොහැකියි” – මුස්ලිම් නායකයන්ගෙන් විරෝධය
මරණ දඬුවම අදත් අහෝසි කැර නැති ශ්‍රී ලංකාවේ හිටපු අධිකරණ අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබා ඇත්තේ වාර්තා වී ඇති මරණ දඬුවම තවමත් තහවුරු කැර නොමැති ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිල ලිඛිත තීන්දුව අපේක්ෂාවෙන් සිටින බවයි.
“එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් මනුෂ්‍ය ජීවිතයක් බිලි ගැනීම මුළුමනින්ම අසමානුපාතිකද, අමානුෂිකද, අනුමත කළ නොහැකිද වන්නේය,” යි ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා තිබේ.
සිවරාසා අනෝජන්ට මරණ දඩුවම නියම වී ඇති බව සැලවීමත් සමඟ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිසාඩ් බදියුදීන් අනෝජන්ගේ දෙමාපියන් ගේ නිවෙසට ගොස් ඔහුගේ පවුලේ ඥාතීන් හමුව තිබේ.
මුස්ලිම් නායකයා එහිදී සිවරාසා අනෝජන්ගේ පවුලේ සමීපතමයන්ට දැනුම් දී ඇත්තේ සෞදි අරාබියේදී අනෝජන්ට මරණ දඩුවම නියම වී ඇති බව සැලවීමෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ද කනස්සල්ලට පත්ව සිටින බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් වසර පහක සිර දඬුවමක් නියම කිරීම පවා පමණට වැඩි දඬුවමක් බවත්, එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් පුද්ගලයකුගේ ජීවිතය අහිමි කිරීම සම්පූර්ණයෙන්ම මානුෂීය නොවන සහ පිළිගත නොහැකි කරුණක් බවත් ඔහු තව දුරටත් සඳහන් කැර තිබේ.
අනෝජන් සිය මුහුණු පොතේ පළ සටහනකට මරණ දඩුවම නියම කිරීම පිළිගත නොහැකි බව සමාජ මාධ්‍ය ඔස්සේ ද සටහන් පළ කළ බොහෝ මුස්ලිම් ක්‍රියාකාරීන් අවධාරණය කැර තිබේ.
මෙම සිද්ධිය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් ඇති කිරීමට උත්සාහ නොකළ යුතු බවත්, අනෝජන් පොදු සමාවක් යටතේ නිදහස් කළ යුතු බවත් ඔවුන් එම සටහන් මඟින් අවධාරණය කැර ඇත.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති අනෝජන්ගේ දඬුවම අවලංගු කිරීමටත්, ඔහුට නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික සහාය ලබා දීමටත් කඩිනම් පියවර ගන්නා ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.
ඔහු මෙම ඉල්ලීම කැර ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමිනි.
අනෝජන්ගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉහළම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් වහාම මැදිහත් විය යුතු බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් ද අවධාරණය කැර තිබේ.
අනෝජන්ගේ අභියාචනා ක්‍රියාපටිපාටිය විදේශ කටයුතු අමාත්‍යාංශය හසුරුවා ඇති ආකාරය ගැන රජයෙන් පිළිතුරු ඉල්ලා සිටීමේ අරමුණින් මෙම කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බවද ඔහු සදහන් කරයි.
උබුට ගැනීම-The Leader
