Impartial news reporting for a stronger democratic society
විවාහ පොරොන්දු දී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික අතවර කළැයි කියන අක්කරපත්තුව හිටපු නගරාධිපති රිමාන්ඩ් !

විවාහ කැරගන්නා බවට පොරොන්දු දී රජයේ කාන්තා නිලධාරිනියක ලිංගික අතවරයට ලක් කළ බවට එල්ල වූ චෝදනාවක් මත අක්කරපත්තුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සක්කි අතාවුල්ලා  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කැර තිබේ.
අදාළ නඩුව අක්කරපත්තුව මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, සැකකරු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ යුක්තිය ඉල්ලා කළ හෙළිදරව්ව

සිද්ධියට අදාළ පසුබිම් වාර්තා අනුව, සක්කි අතාවුල්ලා අක්කරපත්තුව මහ නගර සභාවේ නගරාධිපති ධුරය හොබවන සමයේ, එම පාලන අධිකාරිය යටතේ සේවය කළ අක්කරපත්තුව පල්ලිකුඩියිරිප්පු ප්‍රදේශයේ පදිංචි රජයේ සේවිකාවක සමඟ සබඳතාවක් ගොඩනඟාගෙන ඇත. එහිදී ඇයව විවාහ කැරගන්නා බවට ව්‍යාජ පොරොන්දු ලබා දෙමින් අවස්ථා ගණනාවකදී ඇයව ලිංගික අපයෝජනයට ලක් කළ බවට අගතියට පත් කාන්තාව චෝදනා කරයි.
තමන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම හේතුවෙන් ඇය මෑතකදී ෆේස්බුක් සජීවී (Facebook Live) වීඩියෝවක් ඔස්සේ තොරතුරු රට හමුවේ අනාවරණය කරමින් තමන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටියාය. එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතාබහට ලක්වීමත් සමඟ ඇය මේ පිළිබඳව අම්පාර ළමා හා කාන්තා කාර්යාංශය වෙත ද විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

පොලිස් විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අම්පාර ළමා හා කාන්තා පොලිස් ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කැර තිබූ අතර, එහිදී ප්‍රකාශයක් ලබාදීම සඳහා සැකකාර හිටපු නගරාධිපතිවරයා අම්පාර ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණ තිබේ.
එම අවස්ථාවේදී එම ඒකකයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂක දයානි ගමගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු වහාම අත්අඩංගුවට ගනු ලැබීය.
බලතළ අයුතු ලෙස භාවිත කිරීම සහ ලිංගික අපයෝජනය සම්බන්ධ චෝදනා යටතේ පොලිසිය විසින් සැකකරු අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී නියෝග කෙරුණේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික් ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

(මාධ්‍යවේදී ෆාරුක් සිහාන් )
sihanfarook@yahoo.comsihanfarook@gmail.com
උපුටා ගැනීම : puthiyakural.lk

රාජ්‍ය නිලධාරිනියකට විවාහ පොරොන්දු දී ලිංගික අතවර කළැයි අක්කරපත්තුව හිටපු නගරාධිපති රිමාන්ඩ්

Follow by Email
LinkedIn
Share
WhatsApp