Impartial news reporting for a stronger democratic society
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩ වර්ජනයකට සූදානම් !

දුම්රිය සේවයට බලපාන නොවිසඳුණු පරිපාලන, සේවා සහ විගණන ආශ්‍රිත ගැටලු ගණනාවක් පදනම් කැර ගෙන දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (RSMA) පසුගිය දා  නිවේදනයක් නිකුත්කරමින්  ආණ්ඩුවට අනතුරු අඟවනු ලැබිණි.

එම නිවේදනයේ  මේසේ  සඳහාන් වේ.

 ඉහතින් සඳහාන් කළ ගැටලුවලට බලධාරීන්ගෙන් තවමත් නිසි විසඳුම් ලබා දී නොමැති බවත්, අදාළ ඉල්ලීම්වලට සාධාරණ කාලයක් තුළ  විසදුම් ලබා නොදුනහොත්, සෙසු දුම්රිය වෘත්තීය සමිති සමඟ මේ පිළිබඳව සාකච්ඡා කැර දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

දුම්රිය ස්ථානවලට දුම්රිය පැමිණීම් සහ පිටවීම් පරීක්ෂා කිරීම විගණන ක්‍රියාවලියේ එක් අංගයක් පමණක් බව RSMA සඳහන් කළ අතර, සමහර දුම්රිය ස්ථාන වසර ගණනාවක් නිසි විගණනයකට භාජනය වී නොමැති බව සඳහාන් කරයි.

විභාග සහ සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබියදීත්, දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂකවරුන් පත් කිරීමේදී වසර දෙකකට වැඩි කාලයක් ප්‍රමාද වීම  තුළින් ගැටලු  සහගත තත්ත්වයක්  මතුව ඇති බව පෙන්වා දෙයි.

RSMA ට අනුව, විනය පරීක්ෂණ ඇතුළු අත්‍යවශ්‍ය පරිපාලන කටයුතු ප්‍රමාද වීම නිසා  ගැටලු රැසක් ගොඩගැසී ඇති බව සඳහාන් කරයි.

ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේදී සිදුවන ප්‍රමාදයන් සහ බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියට අදාළ අතුරු විධිවිධාන ගැන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ  සංගමය තවදුරටත් කනස්සල්ල පළ කරන අතර, එය දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සේවයට සෘජුවම බලපාන බව පෙන්වා දෙයි.

දුම්රිය සේවා කප්පාදුව වැනි පියවර හරහා ස්ටේෂන් මාස්ටර් සේවාව අසාධාරණ ලෙස ඉලක්ක කිරීම පිළිගත නොහැකි බව RSMA පවසයි.

දෛනික දුම්රිය මෙහෙයුම්වලට සිදුවන බාධා, යටිතල පහසුකම්වල ගැටලු, භාවිතා කළ නොහැකි දුම්රිය සම්පත්, සේවා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම සහ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉංජිනේරු සහ තාක්ෂණික සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව ද අවධානය යොමු කැර ඇත.

සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශ ලේකම් ඇතුළු අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා සඳහා නැවත නැවතත් ඉල්ලීම් කළද, තවමත් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොලැබීම ගැන RSMA කනගාටු පළ කරයි.

මහජනතාව සඳහා විශ්වාසදායක සහ කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පරිපාලන සහ සේවා ආශ්‍රිත තීරණ කඩිනමින් ගැනීම සහතික කිරීම එහි අරමුණ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අවධාරණය කෙළේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp