
ඉන්දීය රජය රුපියල් බිලියන 450කට අධික මුදලක් ආයෝජනය කරමින් දේශසීමා ආසන්නයේ දුම්රිය මාර්ග යටිතල පහසුකම් ඉහළ නැංවීමට සැලසුම් කරමින් සිටින බව Cyber World Press වාර්තා කරයි.
චීනය, පාකිස්ථානය සහ බංග්ලාදේශය සමඟ පවතින දේශසීමා ආසන්නයේ පිහිටි දුම්රිය මාර්ග මේ අනුව සංවර්ධනය කිරීමට නියමිතව ඇත.
කලාපීය තත්ත්වයන් වෙනස් වෙමින් පවතින පසුබිමක ඉන්දියාව සිදුකරන මෙම උපායමාර්ගික යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය වැදගත් වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කැර තිබේ.
එම ආයෝජන ව්‍යාපෘතියට අනුව පන්ජාබ්, බටහිර බෙංගාලය, හිමචාල් ප්‍රදේශ්, රාජස්ථාන්, අසෑම් සහ ඊසානදිග ප්‍රාන්ත කිහිපයක නව දුම්රිය මාර්ග සහ දුම්රිය ස්ථාන ඉදි කිරීමටත්, දුම්රිය මාර්ග ජාලය ශක්තිමත් කිරීමටත් රජයේ අවධානය යොමු වී තිබේ. ඉදිරි මාස 18ත්, 24ත් අතර කාලසීමාව ඇතුළත සිදු කිරීමට නියමිත නව ව්‍යාපෘතිය යටතේ එරට සමස්ත දුම්රිය යටිතල පහසුකම් පිරිවැයෙන් 22%ක් පමණ දේශසීමා ප්‍රාන්ත වැඩසටහනට ඇතුළත් වන බව ද වාර්තා වේ.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයේ දේශසීමා ආශ්රිත යටිතල පහසුකම් ගොඩනැඟීමේ දැක්මට අනුව සිදු කිරීමට නියමිත එම ව්‍යාපෘතිය මඟින් එරට ඊසානදිග පළාත්වල දුම්රිය පාලම්, උමං මාර්ග ඇතුළත්ව නව දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3.4ක මුදලක් වැය කිරීමට සැලසුම් කැර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය පසුගිය වසරේ වාර්තා කැර තිබූණි. නමුත් නවතම වාර්තාවලින් සඳහන් වන්නේ එම පිරිවැය ඉන් ඔබ්බට ගොස් ඇති බවයි.
