
කොලොම්බියාවේ සිදුවූ දැවැන්ත භූකම්පනයකින් පුද්ගලයන් 300 දෙනකු වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, විනාශ වූ ගොඩනැඟිලි සුන්බුන් අතර තවත් විශාල පිරිසක් සිරවී සිටින බවට තොරතුරු පළවීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බටහිර කොලොම්බියාවේ පැසිෆික් සාගරයට මුහුණලා පිහිටි සැන් ජොසේ ඩෙල් පැල්මා ගම්මානය කේන්ද්‍ර කරමින් පෙරේදා උදෑසන 7.30ට පමණ මේ භූකම්පනය සිදුවී ඇති අතර, 600කට වැඩියෙන් පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
භූකම්පනයත් සමඟ එම කලාපයේ නගර රැසක ගොඩනැඟිලි සහ නිවාස දෙදහසකට වඩා බිඳ වැටී ඇති බවත්, වැඩිම මරණ සංඛ්‍යාව පෙරේයිරා නගරයෙන් වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අහස උසට විහිදුණු ගොඩනැඟිලි කඩා වැටීමෙන් එම පළාතේ මාර්ග රැසක් සුන්බුන්වලින් අවහිර වීමෙන් ආපදා කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, සහන සේවා කණ්ඩායම් සහ ගිනි නිවන භටයන් සමඟ එක්වූ නගරවාසීන් සුන්බුන් ඉවත් කිරිම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින බව වාර්තා වේ. ආපදා මෙහෙයුම් කණ්ඩායම්වලට සහ ආරක්ෂක අංශවලට සුන්බුන් අතර සිරවූවන් මුදා ගැනීමේ කටයුතු පහසු කිරිම සඳහා එදින පෙරවරුවේ සිට ඇඳිරි නීතිය පනවා තිබේ. කොලොම්බියාවේ සිවිල් ගුවන් සේවා බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ බටහිර කලාපයේ ගුවන් තොටුපොල රැසක මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට සිදුවී ඇති බවය.
පෙරේදා පස්වරුව වන විට අතුරුදන්වූ සිය පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් පිළිබඳ තොරතුරු එරට බලධාරීන් විසින් ඩිජිටල් දත්ත පද්ධතියට ඇතුළත් කිරීම ආරම්භ කර ඇති අතර, ඊයේ වන විට පුද්ගලයන් 2,700කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. මේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි කොලොම්බියාවේ බලධාරින් ප්‍රකාශ කර තිබේ.
කොලොම්බියාවේ වසර 10කට පසු සිදුවූ දැවැන්තම භූකම්පනය මෙය වන අතර, මීට පෙර 2016 අප්‍රේල් මාසයේ සිදුවූ රිච්ටර් මාපකයේ 7.8ක භූකම්පනයකින් පුද්ගලයන් 676 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කොලොම්බියාවේ ජනාධිපති ඇබෙලාර්ඩෝ ඩි ලා එස්ප්රියෙලා රට තුළ ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගිය සිකුරාදා කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් එස්ප්රියෙලාට මේ ඛේදවාචකය විශාල අභියෝගයක් වනු ඇතැයි එරට දේශපාලන විචාරකයන් ප්‍රකාශ කර තිබේ. ඊයේ වන විට ඔහු අයවැය ප්‍රතිපාදන නැවත වෙන් කිරිම ඇතුළු හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා විශේෂ පියවර රැසක් ගෙන ඇතැයි ද වාර්තා වේ. භූකම්පනයේ බලපෑම කොලොම්බියාව අවට පිහිටි වෙනිසියුලාව, ඉක්වදෝරය සහ පැනමා රටවලටත් දැනී ඇති අතර, සිදුවූ දරුණු විනාශය රටවල් රැසක රාජ්‍ය නායකයන්ගේ ද අවධානයට ලක්වී තිබේ. විපතට පත්වූවන් වෙනුවෙන් රජයට සහය දැක්විම සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 15.5ක හදිසි ආපදා සහනාධාර ලබාදීමට තීරණය කැර ඇති අතර, තවත් රටවල් රැසක් දැනටමත් ඒ සඳහා ඉදිරිපත් වී සිටී. යුරෝපා සංගමය එල් සැල්වදෝරය ඇතුළු රටවල් සහ කලාපීය සංගම් රැසක් මුදා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් කොලොම්බියාව වෙත පිටත් කිරිමට සැලසුම් කර ඇති අතර, අවතැන්වූවන්ට සහන සැලසීමට මූල්‍යාධාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කර තිබේ.( දිනමිණ ඇසුරෙන්)
