Impartial news reporting for a stronger democratic society
ඉන්දියාවේ නිෂ්පාදිත සුපර්සොනික් කෘස් මිසයිල මිලදී ගන්න තායිලන්තය සූදානම්!

ඉන්දියාවේ නිෂ්පාදිත අධිවේගී සුපර්සොනික් කෘස් මිසයිල මිලදී ගැනීම සඳහා තායිලන්තයේ අවධානය යොමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රාහ්මෝස් මිසයිල වර්ගයට අයත් නෞකා නාශක මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට තායිලන්ත රජයේ අවධානය යොමුවී ඇත්තේ වෙරළාශ්‍රිත කලාප සහ තීරණාත්මක මුහුදු මාර්ග ආරක්ෂා කැර ගැනීමේ ස්වාධීන ආරක්ෂක උපායමාර්ගයක් ලෙස බව ද වාර්තා වේ. පසුගිය වසරේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමෙන් පසු ආරක්ෂක කටයුතු හා සම්බන්ධ නිෂ්පාදන සහයෝගීතාව ඉහළ නැංවීමට දෙරටේ නායකයන් අතර එකඟතාව පළ වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මුහුදු සීමා ආරක්ෂාව සහ තර්ජන වැලැක්වීම සඳහා රාජකීය තායි නාවික හමුදාව නවීකරණය කිරීමේ පියවරක් ලෙස එම මිලදී ගැනීම් සිදු කිරීමට නියමිතව ඇතැයි ද, එම ගිවිසුම මඟින් ඉන්දියාවේ ආරක්ෂක අපනයන ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 ඉන්දියාව මේ වනවිට පිලිපීනයට බ්‍රාහ්මෝස් මිසයිල අලෙවි කර ඇති අතර, ඉන්දුනීසියාව, වියට්නාමය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ මිසයිල අපනයන සාකච්ඡා පවත්වමින් සිටින බව ද වාර්තා වේ.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp