
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් හමුදා හෙලිකොප්ටරයක් වොෂින්ටනයේ රොනල්ඩ් රේගන් ගුවන්තොටුපොළ ආසන්නයේදී මගී ගුවන් යානයකට ඉතා සමීපව පියාසර කිරීම සම්බන්ධව අමෙරිකා ගුවන් සේවා බලධාරින් පරික්ෂණයක් ආරම්භ කැර ඇති බව වාර්කා වෙයි.
ජනාධිපතිවරයා රැගත් ‘මැරින් වන්‘ හෙලිකොප්ටර් යානය ධවල මන්දිරයෙන් ගුවන්ගත වන මොහොතේදිම ආසන්නයේ පිහිටි රොනල්ඩ් රේගන් ගුවන්තොටුපොලේ සිට මගී යානයක් ගුවන්ගත කැර ඇති අතර, යානා දෙක අතර තිබිය යුතු ආරක්ෂිත පරතරය තාවකාලිකව ගිලිහී ගොස් තිබේ.
පසුව එම යානා 2ම ආරක්ෂිතව ඈතට පියාසර කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේදී එම ගුවන්තොටුපොළ ආසන්නයේදීම මගී ගුවන්යානයක් සහ හමුදා හෙලිකොප්ටර් යානයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 67 දෙනකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු බලාත්මක කළ නව ආරක්ෂණ නීතිරීති උල්ලංඝනය වී ඇතැයි එරට ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය නිවේදනය කැර තිබේ.
ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටර් යානය හෝ වෙනත් හමුදා හෙලිකොප්ටර් යානයක් ගුවන්තොටුපොල සීමාව හරහා පියාසර කිරිමේදී සියලුම මගී යානා ගුවන්ගත කිරිම් හෝ ගොඩ බෑම් තාවකාලිකව අත්හිටුවිය යුතු බවට එම අනතුරින් පසු ගුවන් සේවා පාලන අධිකාරිය නව නීති පනවා තිබේ.

