
හැව්ලොක් ටවුන් සහ බණ්ඩාරවෙල ස්ථාන දෙකකින් කෝටියකට අධික නීති විරෝධී ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් අත්අඩංගුවට
කල් ඉකුත් වූ ඖෂධ අලෙවිය සහ ජාවාරම් වැළැක්වීමට දිවයින පුරා පාරිභෝගික අධිකාරියෙන් විශේෂ මෙහෙයුම්
හැව්ලොක් ටවුන් සහ බණ්ඩාරවෙල වැටලීම්වල ප්‍රගතිය
මෙරට ඖෂධ වෙළෙඳපොළේ නීත්‍යානුකූලභාවය සහ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණ මෙහෙයුම් අතරතුර, කොළඹ හැව්ලොක් ටවුන් සහ බණ්ඩාරවෙල ප්‍රදේශයන්හි පවත්වාගෙන ගිය නීති විරෝධී ඖෂධ ගබඩා දෙකක් වටලා අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීහු සමත්ව සිටිති.
කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගබඩාවක් පාරිභෝගික අධිකාරියේ විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් වටලනු ලැබූ අතර, එහිදී නීත්‍යානුකූල ආනයන බලපත්‍ර නොමැතිව මගී ගමන් මලු (Baggage) ඔස්සේ මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන පිළිකා සහ හෘද රෝග සඳහා වන ඖෂධ ඇතුළු වර්ග 100කට අධික ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් සොයාගන්නා ලදී.
එම තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 10ක් (කෝටියක්) ඉක්මවන බව වාර්තා වේ.
බණ්ඩාරවෙලින් හමු වූ කල් ඉකුත් වූ සහ ලේබල් වෙනස් කළ ඖෂධ
මීට සමගාමීව බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල, ඇටම්පිටිය පාරේ පිහිටි ඖෂධ සැපයුම් ආයතනයක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී කල් ඉකුත් වූ ඖෂධ, මිල ගණන් වෙනස් කරන ලද වෛද්‍ය ආධාරක උපකරණ සහ නිෂ්පාදකයාගේ තොරතුරු නොමැති ඖෂධ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී කොඳු ඇට පෙළ, උරහිස් සහ පාද සඳහා වන අස්ථිරෝග ආධාරක (Lumbar Corset, Cervical Collar, Braces) ඇතුළු උපකරණවල මිල වෙනස් කර තිබූ අතර, ප්‍රතිජීවක (Antibiotics), අසාත්මිකතා සහ ආමාශයික රෝග සඳහා වන පෙති හා කරල් වර්ග 1,200කට ආසන්න ප්‍රමාණයක් ද සොයාගෙන ඇත.
විශේෂයෙන්ම ප්‍රමුඛ පෙළේ ඖෂධ ආනයන සමාගමකට අයත් හිස් ලේබල් ස්ටිකර් තොගයක් ද මෙම ස්ථානයේ තිබී හමු වී ඇති අතර, ඒ ඔස්සේ සිදුකළ නීතිවිරෝධී මුද්‍රණ කටයුතු පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ. එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධිකය.
පාරිභෝගික අධිකාරියේ වැටලීම් සහ නීතිමය පියවර
| * හැව්ලොක් ටවුන් වැටලීම: රු. මිලියන 10කට අධික ලියාපදිංචි නොකළ පිළිකා හා හෘද රෝග ඖෂධ
| * බණ්ඩාරවෙල වැටලීම: රු. මිලියන 1කට අධික කල් ඉකුත් වූ, ලේබල් හා මිල ගණන් වෙනස් කළ ඖෂධ සහ උපකරණ
| * 2026 වසරේ සමස්ත නීතිමය පියවර: දිවයින පුරා ඖෂධ සැල් 471ක් පරික්ෂාවට ලක්කර රු. ලක්ෂ 22කට අධික දඩ නියම කිරීම
| * මහජන පැමිණිලි: නීති විරෝධී ඖෂධ ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාදීමට 1977 කෙටි ඇමතුම් අංකය සක්‍රිය කිරීම
දිවයින පුරා පාරිභෝගික ආරක්ෂණ මෙහෙයුම්
ජාතික මට්ටමින් පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් යටතේ මේ වන විට දිවයින පුරා ඖෂධ සැල් 400කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර නීතිමය පියවර ගෙන තිබේ.
මෙම වැටලීම්වලින් අනාවරණය වන කරුණු මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ අදාළ වෙළෙඳුන්ට සහ ආයතනවලට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට කටයුතු යොදා ඇත.
නොමඟ යවන සුළු හෝ බාල ප්‍රමිතියේ ඖෂධ පිළිබඳව තොරතුරු පවතී නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
(Source- The Leader)
