
න්‍යෂ්ටික අත්හදා බැලීම් නිරීක්ෂණය කරනු ලබන අමෙරිකානු ජාතික භූ විද්‍යාඥයකු වන චෙන් යූලින් ඔත්තු බැලීමේ චෝදනා මත වසර දෙකකට ආසන්න කාලයක් චීනය විසින් රඳවා තබාගෙන සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කෙළේය.
ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් පෙනී සිටින ග්ලෝබර් රීච් සංවිධානය සඳහන් කර ඇත්තේ චීනයේ විශ්වවිද්‍යාල දෙකක දේශන කටයුතුවලට සහභාගි වීමෙන් පසු බොස්ටන් නුවර පිහිටි සිය නිවෙස බලා යෑම සඳහා වසර 2024 නොවැම්බර් මාසයේ බීජිං ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ඔහු චීන ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට පත්වූ බවය. චීන රජය ඔහු නිදහස් කරන බවට කිසිදු ප්‍රතිචාරයක් ලබා නොදීම හේතුවෙන් එම රඳවා තබා ගැනීම සම්බන්ධ සිදුවීම ප්‍රසිද්ධ කිරීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
54 හැවිරිදි චෙන් යූලින් රඳවා තබා ගැනීම සම්බන්ධව පසුගියදා මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ නීතියට අනුකූලව ඔහුට එරෙහිව නඩු කටයුතු සිදුවන බවය. එරට පවතින නීතියට අනුව ඔත්තු බැලීමේ චෝදනාවලට වරදකරුවන් වන පුද්ගලයන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම නියම විය හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. චෙන් යූලින් වැරැදිසහගත ලෙස රඳවා තබා සිටින බවට අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කර ඇති අතර, චීනය එම ප්‍රකාශය තරයේම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.( දිනමිණ ඇසුරෙන්)
