Impartial news reporting for a stronger democratic society
බාල ගල් අඟුරු පාඩුව ජනතාවගේ පිටින් යැවීමට එරෙහිව පෙරටුගාමීන් ගෙනු කළ රිට් පෙත්සම   යළි ලබන මාසයේ කැඳවීමට තීරණයක් !

 

ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය හරහා රජයට සිදුව ඇති දැවැන්ත මූල්‍ය අලාභය, විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් හෝ මහජන බදු මුදල් යොදාගැනීමෙන් ජනතාවගේ උරමත පැටවීමේ බලධාරීන්ගේ උත්සාහය ව්‍යර්ථ කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) ගොනු කළ විශේෂ පෙත්සම ඊයේ  (ජූලි 15) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනිණි.
මහා පරිමාණ වංචාවක සහ දුර්වල කළමනාකරණයක ප්‍රතිඵලයක් ලෙස සිදු වූ මෙම මූල්‍ය අලාභයේ බර සාමාන්‍ය ජනතාව වෙත පැටවීම අසාධාරණ සහ නීතිවිරෝධී බව පෙන්වා දෙමින්, ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම නීතිමය පියවර ගෙන තිබේ.

අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින ප්‍රබල සහන

පෙත්සසම් පාර්ශ්වය විසින් ජනතාව වෙනුවෙන් අධිකරණය හමුවේ තීරණාත්මක නීතිමය ආඥාවන් කිහිපයක්ම ඉල්ලා ඇත.

ජනතාවගෙන් අය කිරීම වැළැක්වීම:
ගල් අඟුරු ගනුදෙනුවේ මූල්‍ය පාඩුව කිසිදු ආකාරයකින් පාරිභෝගික ජනතාවගෙන් අය කැර ගැනීම වළක්වාලන ස්ථිර තහනම් නියෝගයක් නිකුත් කිරීම.

වගකිවයුත්තන් කොටු කිරීම:
රජයට සිදුවූ සම්පූර්ණ අලාභය අදාළ දූෂිත ගනුදෙනුවට සෘජුවම වගකිවයුතු බලධාරීන්ගෙන් සහ පාර්ශ්වයන්ගෙන්ම අයකර ගැනීමේ මැන්ඩාමුස් (Mandamus) ආඥාවක් නිකුත් කිරීම.

ගැසට්ටුවට එරෙහි රිට් ආඥාව:
අලාභය පියවා ගැනීම සඳහා ජනතාව අපහසුතාවයට පත්කරමින් විදුලි ගාස්තු ඉහළ දැමීමට නිකුත් කැර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීම.

අතුරු තහනම් නියෝගය:
මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු, විදුලි ගාස්තු වැඩි කිරීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන අතුරු තහනමක් පැනවීම.

ඊළඟ අධිකරණ ක්‍රියාමාර්ගය

ඊයේ දින විවෘත අධිකරණයේදී පෙත්සමට අදාළ මූලික නීතිමය කරුණු සහ ඉල්ලීම් සවිස්තරාත්මකව විමසා බැලූ අභියාචනාධිකරණය, වැඩිදුර තොරතුරු සහ විභාග කටයුතු සඳහා පෙත්සම එළඹෙන අගෝස්තු මස 24 වැනිදා යළි කැඳවීමට තීරණය කෙළේය.

Source- The Leader

Follow by Email
LinkedIn
Share
WhatsApp