
පාකිස්ථානයේ ඛයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 5ක් ජීවිතක්ෂයට පත්ව තවත් 34 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පාකිස්ථාන මාධ්‍ය උපුට දක්වමින් Cyber World Press වාර්තා කරයි.
එරට ආරක්ෂක අංශ ඉලක්ක කැර ගනිමින් ත්රස්තවාදීන් පොලිස් රථ පෙළකට සහ පොලිස් ස්ථානයකට බෝම්බ සහ වෙඩි ප්‍රහාර එල්ල කැර ඇතැයි NDTV වාර්තාවක සඳහාන් වු බව Cyber World Press අනාවරණය කරයි.
ලෝවර් ඩීර් දිස්ත්‍රික්කයේ හයිඩර් ප්‍රදේශය හරහා පොලිස් රථ පෙළ ගමන් කරමින් තිබියදී ත්රස්තවාදීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කැර ඇති බව කියයි.
එහිදී ඔවුන් ප්‍රථමයෙන් අත්බෝම්බ ප්‍රහාර එල්ල කැර පසුව ස්වයංක්‍රීය ගිනිඅවිවලින් දැඩි වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි ප්‍රාදේශීය පොලිසිය පවසයි. මෙම දරුණු ප්‍රහාරයෙන් පොලිස් රථ පෙළට දැඩි හානි සිදුව ඇති අතර ත්රස්තවාදීන් විසින් පොලිස් වාහන දෙකක්ද ගිනිබත් කැර තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කැර ඇත.
මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කැර ඇති අතර ප්‍රහාරය එල්ල කළ ත්රස්තවාදීන් සොයා ආරක්ෂක අංශ පුළුල් මෙහෙයුමක් ආරම්භ කැර ඇති බවද පාකිස්ථාන බලධාරීන් කියා සිටි.
