Impartial news reporting for a stronger democratic society
කෝටියක් නොගෙව්වොත් වසර 9ක් හිරේ දමනවා! – කොළඹ මහාධිකරණය ප්‍රසන්නට අවසාන නිවේදනයත් නිකුත් කරයි

බස්නාහිර පළාත්  සභාවේ  ප්‍රධාන  ඇමැතිවරයා වශයෙන් සිටිටදී  මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අවසර දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග වරදකරු වීම නිසා රුපියල් ලක්ෂ 100ක (කෝටියක) වන්දි මුදලක් 2027 වසරේ ජූලි මස 06 වැනිදාට පෙර ගෙවා නිම කළ යුතු බව කොළඹ මහාධිකරණය නියෝග කැර තිබේ.

අදාළ අභියාචනාධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ ඊයේ (08) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා දැනුම් දුන්නේ, විත්තිකරු මෙම වන්දි ගෙවීම පැහැර හැරියහොත් එය අධිකරණ නියෝග කඩකිරීමක් ලෙස සලකා වසර 9ක සිරදඬුවමක් ක්‍රියාත්මක කරන බවයි.

ලක්ෂ 640ක කප්පම් ඉල්ලීමේ අතීත කතාව

2015 වසරේ අප්‍රේල් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ගොඩකිරීමේ අනුමැතිය වෙනුවෙන් මොරටුව ප්‍රදේශයේ පදිංචි එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 640ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා තර්ජනය කිරීම සහ ඉන් ලක්ෂ 150ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා  මෙම නඩුව පවරා තිබිණි.

මුල් දඬුවම:
මෙම සිද්ධියට වරදකරු වූ ප්‍රසන්න රණතුංග ට කොළඹ මහාධිකරණය  රුපියල් ලක්ෂ 250ක දඩයක් සහ ලක්ෂ 100ක වන්දි මුදලක් ගෙවීමට මීට පෙර නියෝග කැර තිබූ අතර, ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප වීමෙන් පසු එම තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා නඩුව නැවත කැඳවා ඇත.


බිරි සහ තුන්වැනි විත්තිකරු

ප්‍රසන්න රණතුංග මහතාට අමතරව ඔහුගේ බිරිය වන මොරීන් ස්ටෙලා රණතුංග සහ නරේන් කුමාර් ෆාරික් යන අය ද මෙම නඩුවේ අධිචෝදනා 5ක් යටතේ විත්තිකරුවන් ලෙස නම් කැර තිබිණි.

නොපැමිණි විත්තිකරු:
නඩුවේ 3 වැනි විත්තිකරු වන කුමාර් ෆාරුක් යන අය අධිකරණය මඟහැර සිටීම හේතුවෙන්, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහ පනතේ 241 වැනි වගන්තිය යටතේ විත්තිකරු නොමැතිවම (In Absentia) නඩු විභාගය පවත්වා තීන්දු ලබා දීමට පියවර ගැනිණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ පොරොන්දු වූයේ නියමිත කාලසීමාවට පෙර අදාළ වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා නිම කරන බවයි. එම නීතිමය පොරොන්දුව සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරු මුදා හැරීමට මහාධිකරණය පියවර ගත්තේය.

(Source- The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp