Impartial news reporting for a stronger democratic society
ඉරානයේ තෙල් සම්බාධක ඉවත් කරයි : අමෙරිකා – ඉරාන සාම කතා ඵල දරන ලකුණු !

අමෙරිකාව සහ ඉරානය අතර පවතින සාකච්ඡා ස්ථීර සාමයක් කරා ඉදිරියට යෑමේ ප්‍රගතිය පෙන්නුම් කරමින් ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක විශාල වශයෙන් ඉවත් කිරිමට අමෙරිකාව පියවර ගෙන ඇති බව නිවියෝක්  නුවර සිටින Cyber World Press  විශේෂ නියෝජිත පවසයි.

දශක ගණනාවකට පසු ඉරානයට අමෙරිකානු ඩොලර්වලින් වෙළෙඳාම් කිරිමට ද අවසර ලබා දී ඇතැයි වාර්තා වේ. ඉරානයට සිය බොරතෙල් සහ අනෙකුත් ඛණිජ ද්‍රව්‍ය අපනයනය කිරිමට අමෙරිකානු භාණ්ඩාගාරය දින 60ක කාලසීමාවක් සඳහා අවසර පත්‍රයක් නිකුත් කැර ඇති අතර, ඒ අනුව ලබන අගෝස්තු 21 වැනිදා දක්වා අමෙරිකානු ඩොලර් මඟින් බොරතෙල්, පෙට්‍රොකෙමිකල් සහ ඛණිජ තෙල් නිෂ්පාදනය කිරීමට සහ අලෙවි කිරීමට අවසර ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 1979 ඉරාන විප්ලවයෙන් පසු අමෙරිකානු රජය ඉරානයට එරෙහිව පනවා තිබූ තෙල් සම්බාධක ලිහිල් කිරිම මෑත ඉතිහාසයේ ලෝක දේශපාලන කරළියේ සිදුවූ ඓතිහාසික සිදුවීමක් බවත්, එය ඉරාන ආර්ථිකය අඩපණ කිරිමට වසර ගණනාවක් පුරා අමෙරිකාව රැගෙන ගිය ප්‍රතිපත්තිය ආපසු හැරවීමක් බවත් ලෝක දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කැර තිබේ.

මීට පෙර අමෙරිකාවේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත්වූ නෞකා සහ ආයතනවලට ද වෙළෙඳ කටයුතු සිදු කිරිමට අවසර දුන් බව අමෙරිකාවේ බලශක්ති තොරතුරු ඒජන්සිය ප්‍රකාශ කැර තිබේ. එම අවසර පත්‍රය යටතේ ඉරාන බොරතෙල් අමෙරිකාවට ආනයනය කිරීමේ අවස්ථාව ද හිමිවී ඇතැයි වාර්තා වේ. 1990 දශකයේ සිට සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අමෙරිකා – ඉරාන වෙළෙඳ ගනුදෙනු නැවත ආරම්භ කිරීමට එමඟින් අවස්ථාව උදාවනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අමෙරිකාවේ තීරණය මත ඉරාන රජයට ඩොලර් බිලියන ගණනාවක තෙල් ආදායමක් ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. ඉරානයට ලැබුණු අවසර පත්‍රය මඟින් පර්සියානු ගල්ෆ් කලාපයේ සිරවී තිබූ ඉරාන බොරතෙල් බැරල් මිලියන 67ක පමණ ප්‍රමාණයක් නිදහස් කරගැනීමට සහ අදාළ ගමනාන්ත වෙත අපනයනය කිරීමට අවස්ථාව උදාවී ඇති අතර, සියලු ආදායම් මාර්ගවලින් ඉරානයට නැවත සිය වැදගත්ම සහ ප්‍රධානතම ආදායම් මාර්ගය දිගුකාලීනව පවත්වාගෙන යෑමේ අවස්ථාව ද උදාවී තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp