Impartial news reporting for a stronger democratic society
අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ෆ් කලාපයේ නව දේශපාලන යථාර්ථය

පසුගිය සතියේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්විට්සර්ලන්තයේ දීත් ඉරාන ජනාධිපති තෙහෙරාන් නගරයේ දීත් අත්සන් කළ අවබෝධතා ගිවිසුම සටන් විරාමයක් ද යුද්ධයෙන් හෙම්බත් වූ දෙපාර්ශ්වය විඩා නිවා ගැනීමට ගත් කල් බැලීමක් ද යන්න ඉදිරි දින කීපය තුළ පැහැදිලිවනු ඇත. අවබෝධතා ගිවිසුමේ පළමු වගන්තියම කඩ කිරීමේ චෝදනාවක් මත ඉරානය දින කීපයකට පෙර විවෘත කළ හෝර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දැමු බවද වාර්තාවේ. ඉරානය පවසන ආකාරයට අවබෝධතා ගිවිසුම අනුව ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල සටන් නතර කළ යුතු වුවද ඊශ්‍රායෙලය දිගටම ලෙබනනයට ගුවන් පුහාර එල්ල කරයි. එමනිසා අමෙරිකාව එය නතර කිරීමට පියවර ගත යුතුය. හොර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දමා ඇත්තේ එමනිසාය.

ස්විට්සර්ලන්තයේ පැවති සාකච්ඡාවලින් පසුව නැවත හොර්මුස් සමුද්‍රසන්ධිය විවෘක වුවද එය කෙතරම් දිනක් පවතී ද යන්න තවමත් සැක සහිත ය.

කෙසේ වුවත් සාමය ගැන බලාපොරොත්තු රඳවා ගත හැකි වන්නේ අවබෝධතා ගිවිසුම අනුව දෙපාර්ශ්වයම ජිනීවා හි දී දිගු කාලින සටන් විරාම ගිවිසුමක් සදහා සාකච්ඡා ඇරඹීමය. ඉන් පැහැදිලි වන්නේ සමහර බාධක මතු වුවත් සාමය ඇති කර ගැනීමට දෙපාර්ශ්වයටම අවශ්‍යතාවයක් පවතින්නේය යන්නයි. ඊට බලපාන ප්‍රධාන හේතුව ඉරානයට එරෙහි  අමෙරිකානු ඊශ්‍රායෙල් යුද්ධයේ ප්‍රථිඵල යුද බිමට පමණක් සීමා නොවීමයි. දින කීපයකින් යුද්ධය නිම කිරීමේ අදහසින් ජනාධිපති ට්‍රම්ප් සහ අගමැති නෙතන්යාහු ඉරානයට එරෙහිව මිසයිල් ප්‍රහාර එල්ල කළ ද යුද්ධය බලාපොරොත්තු නොවු ආකාරයෙන් දිග් ගැසිණ. ප්‍රහාරය එල්ල කළ පළමු දිනයේ දීම ඉරානයේ දේශපාලනයේ සහ හමුදාවේ ඉහළ නායකත්වය මරා දැමීමට හැකි වුවද ඉරානය යටපත් වූයේ නැත. නව නායකත්වයක් යටතේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටත් රාජ්‍ය යාන්ත්‍රණය පවත්වා ගැනීමටත් ඉරානයට හැකි විය. වැඩිවන ජීවන බර සහ ආර්ථික කඩා වැටීම නිසා බලාපොරොත්තු කඩ වූ ජනතාව වීදි බැස උද්ඝෝෂණ කළ ද එම විරෝධතා ඉස්ලාමීය රජය බිඳ දැමීමට තරම් ශක්තිමත් නොවීය. ( මෙම උද්ඝෝෂණවලට සහ විරෝධතාවයන්ට සී අයි ඒ සහ මොසාඩ් ඔත්තු සේවාවල සහාය ලැබුණ බවද පසුව වාර්තා විය.)

හැම විටම නිවැරදි තීරණ ගන්නේයැයි පුරසාරම් දෙඩු ඩොනල්ඩ් ට්‍රම්ප් ගණන් නොබැලු බලවත්ම සාධකය වන්නේ යුද්ධයේ ආර්ථික බලපෑමයි. යුද්ධය යුද අවි නිපදවන සමාගම්වලට අසීමිත ලාභ ලැබෙන කර්තව්‍යයක් වුවද සාමාන්‍ය පාරිභෝගිකයාට එය දරා ගත නොහැකි බරක් විය. සමහර පාරිභෝගික භාණ්ඩ මිල සියයට විසිපහ ද ඉක්මවා වැඩි විය. ඇමරිකානු ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සාධකයක් වූ ගෑස් මිල සියයට 40.5කින් ඉහළ ගිය අතර පාරිභෝගික මිල දර්ශකය සියයට 42කින් වැඩි විය. ගාහස්ථ වියදම ඩොලර් 750කින් ඉහළ ගිය ද ආධායම වැඩි වූයේ සියයට0.5කිනි. මේ නිසා ඇමරිකානු ජනමතය යුද්ධයට එරෙහිවත් ට්‍රම්ප්ට එරෙහිවත් පිමි ගණනින් ඉදිරියට ගියේය.

මීටත් වඩා ප්‍රබල සාධකයක් වූයේ අමෙරිකාවේ ආර්ථිකයේ හදවත වන නිව්යෝර්ක් වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳ පොළ කඩා වැටීමය. බොර තෙල් මිල ඉහළ යෑම තෙල් සමාගම්වලට ලොතරැයි දිනුමක් වුවද අනෙක් ආයතනවලට අත් වූයේ සීඝ්‍ර පසු බෑමකි. හෝර්මුස් සමුද්‍රසන්ධිය වසා දැමීම නිසාත් ඉරාන මිසයිල ප්‍රහාර නිසාත් මැද පෙරදිග තෙල් නිපදවන රටවල ආර්ථික කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇන හිටින තත්වයකට පත් විය. එහි බලපෑම වෝල් ස්ට්‍රීට් කොටස් වෙළෙද පොළට දැඩි බලපෑමකි. මූල්‍  වෙළෙඳ පොළෙන් එල්ල වූ බලපෑම ඉරානයේ මිසයිල් ප්‍රහාරවලට වඩා තියුණු විය. 

අනෙක් සාධකය වූයේ දින කිපයකින් නිම කොට ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වූ යුද්ධය මාස ගණනක් දීර්ඝ වූ විට අනපේක්ෂිත ආකාරයෙන් ඉහළ ගිය යුද වියදමයි. දැනට ගණන් බලා ඇති ආකාරයට යුද්ධයේ මුල් දින කිපය ඇතුළත දිනකට ඩොලර් බිලියන 12-13 ත් අතර මුදලක් වැය වූ අතර යුද්ධය පැවති දින 108ක් තුළ වැය වූ මුළු මුදල ඩොලර් බිලියන 100 ඉක්මවා යයි. දැනට අමෙරිකාවේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 41 ද ඉක්මවා ගොස් ඇති නිසා මැද පෙරදිග යුද වියදම් අමෙරිකානු ආර්ථිකයට දරා නොගත හැකි තරම්ය. ආර්ථික උද්ධමනය සහ කොටස් වෙළෙඳපොළ කඩා වැටීම ට්‍රම්ප්ට සිය ටෘත් ගිනුමෙන් පිළිතුරු ලබා දිය නොහැකි ගැටළුය. ඇත්තෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ට කෙසේ හෝ මෙම ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමට බලකරන්නේ  අමෙරිකානු ආර්ථිකයේ පිරිහීම නිසාය.

ඉරානයේ ආරක්ෂක වියදම්   අමෙරිකාව හා සසඳන විට සියයට දශම තුනක් වැනි සොච්චමක් වුවද විවිධ සම්බාධකවලට ලක්ව ඇති ඉරානයට ආර්ථිකය පවත්වා ගැනීම ප්‍රබල දේශපාලන අභියෝගයකි. අසහනයට පත්ව සිටින ඉරාන ජනතාව දිගින් දිගටම ආගමික මූලධර්ම පාලනයක් යටතේ පවත්වා ගැනීම ද පහසු නොවේ. පසුගිය වසරේ තෙහෙරාන් නගරයේ පැවති ජනතා විරෝධතා උද්ඝෝෂණවලට ඊශ්‍රායෙලය වැනි රටවලින් ආධාර ලැබුණ ද ඊට ජනපදනමක් නැතැයි කිම මුළාවකි. එමනිසා සම්බාධක ඉවත් කර ගැනිමත් කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැගිමත් බැහැර කළ නොහැකි සමාජ අවශ්‍යතාවයකි.

යුද්ධය අවසන් කිරීමට ප්‍රබල ආර්ථික හේතු දෙපාර්ශ්වයටම ඇති නමුත් සම්පූර්ණ චිත්‍රය එය නොවේ. දැනට පවතින තත්වය මත යුද්ධය නිමා කිරීමට සිදු වන්නේ ඇමරිකාව හෝ ඊශ්‍රායෙලය බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගෙන නොවේ. මත බේදයට ලක්ව ඇති ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ සම්පූර්ණයෙන්ම නතර කිරීමට අමතරව ඉරානයේ ඉස්ලාමීය පාලනය අවසන් කිරීම ද අරමුණකි. මෙම කරුණු දෙක සම්පූර්ණ කර ගත හැකිනම් මිසයිල ඇතුළු ඉරානයේ යුද ශක්තිය බරපතළ අභියෝග නොවේ. ඇත්තෙන්ම ඇමරිකාව සහ ඊශ්‍රායෙලය දිර්ඝ කාලීන සාමයකට එකඟවීමට ඇති ප්‍රධාන බාධා ලෙස දකින්නේ මෙම කරුණු දෙකයි.

අනෙක් අතට ඉරානයේ අවි බලය ඇමරිකාවට සහ ඊශ්‍රායෙලයට අභියෝගයක් නොවන නමුත් ඉරානයේ භුගෝලිය පිහිටීම ඒ සියල්ලටම වඩා ප්‍රබල සාධකයකි. ලෝකයේ තෙල් සැපයුමෙන් හතරෙන් එකක් පාලනය කිරීමට ඉරානයට හැකි වන්නේ හෝර්මුස් සමුද්‍රසන්ධිය වසා දැමීමට ඇති හැකියාව නිසාය. ඉරානයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළහොත් සමුද්‍රසන්ධිය වසා දමන බවට ඉරානය යුද්ධය ඇරඹීමට පෙර සිටම තර්ජනය කළ ද ඇමරිකාව හෝ ඊශ්‍රායෙලය එය බරපතල සේ සැලකිල්ලට ගත්තේ නැත. සිය සුපිරි යුද ශක්තියෙන් හෝර්මුස් සමුද්‍රසන්ධිය අත්පත් කර ගත හැකි වනු ඇතැයි විශ්වාසයක් ඩොනල්ඩ් ට්‍රම්ප් තුළ තිබිණ. අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවද හොර්මුස් සමුද්‍රසන්ධිය අත්පත් කර ගැනීමේ අධිෂ්ඨානය ට්‍රම්ප් අත්හැර නැත.

එහෙත් එවැනි පියවරක් සඳහා මිසයිල ප්‍රහාර ප්‍රමාණවත් නැති බව යුද්ධයෙන් තහවුරු විය. ඒ සඳහා ගොඩබිම් ප්‍රහාරයක් ද අනිවාර්යෙන් කළ යුතුය. ගොඩබිම් ප්‍රහාරයකින් ඉස්ලාමීය ජනරජ හමුදාව පරාජය කිරීමට සමහර විට වසර ගණනාවක් ගත විය හැකිය. එය කිසි විටෙක සති කීපයකින් නිම කළ නොහැකි ඉලක්කයකි. එවැනි දිග්ගැසුණු යුද්ධයකට ට්‍රම්ප් හෝ එක්සත් ජනපදයේ වෙනත් ජනාධිපතිවරයෙකු ඉදිරිපත්වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය. ඇප්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව වැනි රටවලින් උගත් පාඩම් අමතක වනු ඇතැයි සිතිය නොහැකිය.

අනෙක් වැදගත්ම කාරණය ගල්ප් කලාපීය රටවල බලතුලනයේ ඇති වූ පරිවර්තනයයි. ඇත්තෙන්ම එය හැඳින්විය යුත්තේ විප්ලවීය වෙනසක් සේය. පෙබරවාරි 28ඇමරිකානු සහ ඊශ්‍රායෙල් ප්‍රහාර එල්ල කරන තෙක්ම ගල්ප් කලාපයේ රටවල් තුළ පැවති විශ්වාසය වූයේ  තමන්ට අමෙරිකාවේ සහාය ලැබෙන තාක් ඉරානයට ගල්ප් කලාපයට අභියෝග කිරීමට හැකියාවක් නැතැයි යනුවෙනි.අමෙරිකානු හමුදාවට ගල්ප් කලාපීය රටවල කඳවුරු සහ සේවා ස්ථාන  පිහිටුවා ගැනිමට ඉඩ දුන්නේ එම අපේක්ෂාවෙනි. ප්‍රහාරය ආරම්භ වී දින කීපයක් ඇතුළත එම බලාපොරොත්තුව මිථ්‍යාවක් විය. අමෙරිකානු කඳවුරු මෙන්ම ඇමරිකානු ආයතන ද ඉරාන මිසයිලවලට ඉලක්ක විය. අමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් ලැබුණු සහාය නිසා එම ප්‍රහාර දුර්වල කිරීමට හැකි වුවද අනතුර වැළැක්වීමට හැකි වූයේ නැත. මේ නිසා සෞදි අරාබිය වැනි රටවල් පවා ඇමරිකානු ප්‍රහාරයට සෘජුවම සහාය ලබා දීමට ඉදිරිපත් වූයේ නැත. ඔමානය වැනි රටවල් හෝර්මුස් සමුද්‍රසන්ධියේ දී ඉරානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වූයේ  අමෙරිකාවේ විරෝධය නොතකාය. ගල්ප් කලාපයේ  අමෙරිකාව සහ ඊශ්‍රායෙලය සමග වඩාත්ම සමීපයෙන් කටයුතු කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවා ඉරානය සමග රහසිගත ගනුදෙනුවලට එළඹුණ බව වාර්තාවේ. ඉරානය ද ගල්ප් කලාපයේ රටවල  අමෙරිකානු ඉලක්කවලට පහර දීමේ දී වඩාත් ප්‍රවේශම් වූයේ ගල්ප් කලාපයේ රටවල් සමග සම්බන්ධතා සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට වඩා අනාගත බලාපොරොත්තු තිබුණ නිසා විය හැකිය.

අවසාන විග්‍රහයේ දී දැනට අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම දීර්ඝ කාලීන සාම ගිවිසුමකට පදනම් වුවත් නැතත් ඉරානය ගල්ප් කලාපයේ වඩාත් ශක්තිමත් වූ බව යථාර්ථයයි. එවැනිම ප්‍රබල යථාර්ථයක් වන්නේ ඊශ්‍රායෙලයට සහ අමෙරිකාවට අභීතව මුහුණ දීමෙන් ඉරානය අරාබි ජනතාව තුළත් (පාලකයන් තුළ නොවේ.) සමස්ත මුස්ලිම් ජනතාව අතරත් හිමිකර ගත් කිර්ති නාමයයි. එය නිසැකයෙන්ම මුස්ලිම් ලෝකයේ බලතුනය වෙනස්වීමට හේතු වනු ඇත.

එමනිසා දීර්ඝ කාලීන සාම ගිවිසුමක් කෙටුම්පත් කිරීමේ දී මෙම කරුනු සැලකිල්ලට ගැනීමට නිසැකයෙන්ම හේතු වනු ඇත.

2026 ජුනි 24 වැනි දින ඉහත සඳහාන් ලිපිය

Mahinda Hattaka ,

විවරණ ට ලියන ලද්දකි.

Follow by Email
LinkedIn
Share
WhatsApp