Impartial news reporting for a stronger democratic society
දකුණු පිලිපීනයට රිච්ටර් මාපක 7.8ක අති ප්‍රබල භූ කම්පනයක් ! – පැසිෆික් කලාපයට සුනාමි භීතියක්

දකුණු  පිලිපීනයේ මින්දනාවෝ දූපත් කලාපය කේන්ද්‍ර කැර ගනිමින් අද (ජූනි 08) උදෑසන රිච්ටර් මාපක 7.8ක අතිශය ප්‍රබල භූ කම්පනයක් සිදුවීමත් සමඟ සමස්ත පැසිෆික් කලාපීය වෙරළ තීරය පුරා දැවැන්ත සුනාමි අවදානමක් සහ භීතියක් නිර්මාණය  විය.

භූ අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් වැනි ඉතා නොගැඹුරු මට්ටමක (Shallow depth) මෙම කම්පනය හටගෙන තිබීම හේතුවෙන්, එහි කම්පන තරංග අසල්වැසි ඉන්දුනීසියාව සහ ජපානය දක්වා ද ප්‍රබලව දැනී ඇත.

 “බලා නොසිට වහාම උස් බිම් වෙත යන්න”

භූ කම්පනය සිදු වූ වහාම ක්‍රියාත්මක වූ  පිලිපීන සහ ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ආයතන වෙරළබඩ කලාපයන් සඳහා මීටරයකට වඩා උස් සුනාමි රළ පැමිණීමේ අවදානමක් ප්‍රකාශයට පත් කරන ලදී.

ජනතාව අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ පිලිපීන ජනාධිපති කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් (Bongbong Marcos) අවධාරණය කෙළේ, “කිසිවක් දෙස බලා නොසිට වහාම උස් බිම් වෙත ඉවත් වන්න. ඔබ හැරදමා යන දේට වඩා ඔබේ ජීවිතය වටිනවා” යනුවෙනි.

ප්‍රධාන කම්පනයෙන් පසුව ද ප්‍රබල පශ්චාත් කම්පන (Aftershocks) රැසක් අඛණ්ඩව සිදුවීම හේතුවෙන්, බියට පත් දහස් සංඛ්‍යාත ජනතාව සිය නිවාස සහ ගොඩනැඟිලි අත්හැර විවෘත ආරක්ෂිත ස්ථාන වෙත මේ වන විටත් රැස්වෙමින් සිටිති.  

කඩා වැටුණු සන්නිවේදනය සහ මානුෂීය පිරිවැය

භූ කම්පනයේ අපිකේන්ද්‍රයට ආසන්නතම ප්‍රදේශය වන සරන්ගානි (Sarasgani) පළාතේ විදුලි බලය, ජලය සහ අන්තර්ජාල සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. ආරක්ෂක පියවරක් ලෙස කලාපයේ සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. ප්‍රදේශයේ විපත් ප්‍රධානී රෙනේ පුන්සාලන් ප්‍රකාශ කැර ඇත්තේ, උස් ගොඩනැඟිලි සම්පූර්ණයෙන්ම කඩා වැටීමක් පිළිබඳව මෙතෙක් වාර්තා නොවුණ ද, ප්‍රාදේශීය රාජ්‍ය ගොඩනැඟිලි සහ නිවාස රැසක බිත්ති සහ ව්‍යුහයන් පුපුරා දැඩි හානි සිදුව ඇති බවයි.  

භූගෝලීය වශයෙන් ‘පැසිෆික් ගිනි වළල්ල’ (Pacific Ring of Fire) මත පිහිටීම හේතුවෙන් මෙවැනි ස්වාභාවික ව්‍යසනයන්ට නිතර මුහුණ දෙන මෙම කලාපයේ, පද්ධතීන් බිඳවැටෙද්දී මිනිස් ජීවිත සුරැකීම වෙනුවෙන් සහන සේවා කණ්ඩායම් සහ සාමාන්‍ය ජනතාව දක්වන සාමූහික සහයෝගීතාවය දෙස ලෝකයම බලාපොරොත්තු සහගතව බලා සිටියි.

(Reuters ඇසුරින්හර්ෂ උදයකාන්ත පීරිස්)
 මුලාශ්‍රය :
Earthquake of magnitude 7.8 strikes off southern Philippines




Follow by Email
LinkedIn
Share
WhatsApp