
විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සාලේ (Tuan Suresh Sallay) තවත් දින 90ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබා ගැනීමට ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝග කැර ඇති බව අනාවරණය වෙයි.
පසුගිය පෙබරවාරි 25 වැනි දා පෑලියගොඩදී අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, සුරේෂ් සලේ මේ වන විට දින 80කට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිටි.
2026 මැයි 27 වන දිනැති MOD/LEG/PTA/21/2026 දරන රැඳවුම් නියෝගය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කැර ඇත්තේ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව මෙම පියවර ගත් බවයි.
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ පූර්ව දැනුවත්භාවයකින් යුතුව ජාතීන් හා ආගම් අතර සහජීවනය බිඳ දැමීමට කුමන්ත්‍රණය කිරීම සහ මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට උපද්‍රව ඇති කිරීම යන චෝදනා සුරේෂ් සලේ ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වෙයි. ඒ් අනුව ඔහු මෙම නඩුවේ 3 වැනි සැකකරු ලෙස නම් කිරීමට නීතිපතිවරයා කටයුතු කැර තිබේ.
“මගේ මහත්තයව බිල්ලක් කරගෙන” – සුරේෂ් සලේගේ බිරියගෙන් ජනපතිට ලිපියක්
මෙම රැඳවුම් නියෝගය මුළුමනින්ම අසාධාරණ බව පවසමින් සුරේෂ් සලේ ගේ බිරිය වන එස්.බී.එම්.එස්.බී. සලේ විසින් මැයි 18 වැනි දා ජනාධිපතිවරයා වෙත විශේෂ ආයාචනයක් යොමු කැර තිබිණ.
තම ස්වාමිපුරුෂයා CID භාරයේදී දරුණු මානසික සහ ශාරීරික වධහිංසාවලට ලක්වන බව ඇය එමඟින් අනාවරණය කරයි.
ඇයගේ ලිපියට සහ නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ මෝසම් පත්රවලට අනුව, සුරේෂ් සලේ ව රඳවා සිටින්නේ මීයන්ගෙන් ගහන, අඩි 6.5 x 4.4 ප්‍රමාණයේ ඉතා කුඩා සිරමැදිරියකය. එසේම, පසුගිය රාත්‍රියක නිලධාරීන් පිරිසක් සිරමැදිරියට ඇතුළු වී ඔහුව බලහත්කාරයෙන් නිරුවත් කැර, මාංචු දමා අමානුෂික ලෙස සැලකූ බවට ඇය චෝදනා කරයි. මෙය 1994 අංක 22 දරන වධහිංසා පමුණුවීමට එරෙහි සම්මුති පනත සෘජුවම උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙන ඇය, අදාළ CCTV දර්ශන සුරක්ෂිත කරන ලෙස ඉල්ලා සිටිය ද මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසයි.
තවද, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය පරිදි ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) වෙත ඉදිරිපත් කිරීමද CIDය විසින් හිතාමතාම දින 10කට වඩා ප්‍රමාද කැර ඇති බවට බිරිය පාර්ශ්වය චෝදනා කරයි.
‘බැඳියාවන් අතර ගැටුමක්‘ (Conflict of Interest)
මෙම විමර්ශනයේ අපක්ෂපාතීත්වය පිළිබඳව ද සුරේෂ් සලේ ගේ නීතිඥයන් ප්‍රශ්න කැර සිටී. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වත්මන් CID අධ්යක්ෂ ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න දෙදෙනාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ (B/34097) නඩුවක් පවතින බවත්, එවැනි පසුබිමක, ඔවුන් යටතේ මෙම විමර්ශනය සිදුවීම බරපතළ ‘බැඳියාවන් අතර ගැටුමක්’ නිර්මාණය කරන බවත්, සැබෑ වැරදිකරුවන් බේරා ගැනීම සඳහා තම ස්වාමිපුරුෂයාව බිල්ලක් (Scapegoat) කැර ගන්නා බවත් සලේ මහත්මිය පවසයි.
තම ස්වාමිපුරුෂයා මුහුණ දී සිටින මෙම අසීරු තත්ත්වය සැලකිල්ලට ගෙන, වහාම මැදිහත් වී ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඇය ජනාධිපතිවරයාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටී.
( The Leader ඇසුරෙන් )
සබැඳි පුවතක් :
‘මගේ මහත්තය මීයන් ඉන්න කුටියක නිරුවත්කර මාංචු දැම්මා’ – සුරේෂ් සලේගේ බිරිය ජනපතිට ලියූ ලිපිය මෙන්න
