
රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් සහ දේපොළ වඩාත් ඵලදායී ලෙස සංවර්ධනය කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් (EOI) කැඳවීමේ දෙවැනි අදියර නිල වශයෙන් ආරම්භ කැර ඇති බව අනවෙරණය වෙයි.
මෙම සුවිශේෂී වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ 2025 අයවැය ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලවය.
ඒ අනුව අමාත්‍යාංශය යටතේ පවතින ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB), ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC) සහ ඇල්කඩුව වැවිලි සමාගම සතු භාවිතයට නොගත් හෝ අවම භාවිතයක් සහිත ඉඩම්, තේ කර්මාන්ත ශාලා සහ බංගලා ප්රශස්ත ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.
මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල පිහිටි මෙම වටිනා රාජ්‍ය දේපොළ, කෘෂිකාර්මික හා සංචාරක අරමුණු වෙනුවෙන් ආයෝජනය කිරීමට සුදුසුකම් ලත් ආයෝජකයන්ට අවස්ථාව හිමිවේ. මෙහිදී ආයෝජන ඉඩම් ප්‍රමාණයන් ප්‍රධාන කාණ්ඩ 5ක් යටතේ වර්ග කැර තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන සාමාන්‍ය පුද්ගලයන්ට මෙන්ම, මෙරට ලියාපදිංචි ඕනෑම නීත්‍යානුකූල සමාගමකට හෝ ආයතනයකට මේ සඳහා අයැදුම් කළ හැකිය.
මෙම ආයෝජන අවස්ථාවන් සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් භාරගන්නා අවසන් දිනය 2026 ජූනි මස 30 වන දින පෙ.ව. 11.00 දක්වා දීර්ඝ කැර ඇත.
උනන්දුවක් දක්වන ආයෝජකයින්ට සිය අයැදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් හෝ පුද්ගලිකව “සභාපති, ඉහළ ප්‍රසම්පාදන කමිටුව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, 8 වැනි මහල, A පර්යන්තය, සෙත්සිරිපාය II වැනි අදියර, බත්තරමුල්ල” යන ලිපිනයට යොමු කළ හැකිය.
වැඩිදුර විස්තර 0112186223 දුරකථන අංකය හෝ mpeiunderutilizedland@gmail.com විද්‍යුත් ලිපිනය හරහා ලබාගත හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.( Source- The Leader)

