
හැටන් දික්ඔයදී අඹුසැමි යුවළක් ඝාතනය කැර සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පල්ලේකැලේ බන්ධනාගාරයට යොමු කරනු ලැබ සිටි සැකකරු රෝගී තත්ත්වයක් සඳහා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) අලුයම බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබේ.
අදාළ දිවිත්ව ඝාතනය සම්බන්ධයෙන් හැටන් පොලීසිය හැලිඇළ පදිංචි 37 හැවිරිදි මෙම පුද්ගලයාව සැකපිට අත්අඩංගුවට ගෙන පසුගිය 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කැර තිබූ අතර, හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා ජූනි මස 3 වැනිදා තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
පොලීසිය තමන්ට පහරදුන් බවට සැකකරු කළ ප්‍රකාශයක් මත බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සැකකරු මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක 11ට ඇතුළත් කැර ප්‍රතිකාර ලබා දී තිබිණි. එහිදී අත්විලංගු ඉවත් කැර සැකකරු වැසිකිළියට ගිය අවස්ථාවේ එහි ජනේලයෙන් පැන මෙසේ පලාගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය විය.
දිවිත්ව ඝාතනය සිදු කිරීමෙන් පසු පවුම් 18ක ස්වර්ණාභාරණ ද රැගෙන පළා ගොස් බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ සැඟව සිටි සැකකරු බගවන්තලාව සහ හැටන් පොලීසි මඟින් එක්ව දියත් කරන ලද මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගැනිණි. බිරිය ලබා ගත් ණය මුදලක් ගෙවීම සඳහා ඇගේ බලපෑම මත තමන් මෙම ඝාතනය සහ සොරකම සිදු කළ බවත්, ඇප මත නිදහස හිමි වූ දිනක ඒ සම්බන්ධයෙන් බිරියගෙන් පළිගන්නා බවත් සැකකරු පොලීසියට පවසා තිබිණි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි. සැකකරු පළා යෑම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ.
( දිනම්ණ ඇසුරෙන් )
අසේල කුරුළුවංශ
මධ්‍යම පළාත් විශේෂ – ඩී.එන්. කුමාරගේවත්ත
නෝර්වුඩ් සමූහ – රංජිත් රාජපක්ෂ
