
මැලේසියාවේ සන්නිවේදන සහ බහුමාධ්‍ය කොමිෂන් සභාව (MCMC) විසින් 2026 ජූනි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සමාජ මාධ්‍ය ජාල සඳහා ඉතා දැඩි, නව නීති මාලාවක් හඳුන්වා දී තිබේ.
මෙම නව පියවරයන් ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කර ඇත්තේ තරුණ හා බාලවයස්කාර පිරිස් අන්තර්ජාලය ඔස්සේ සිදුවන විවිධ අනිසි බලපෑම්වලින් ආරක්ෂා කැර ගැනීමටයි.
මෙම පියවර මඟින් ළමයින්ගේ වයසට ගැළපෙන ආරක්ෂාවක් සැපයීමට සහ ඉහළ අවදානමක් සහිත අන්තර්ජාල සේවා භාවිතයන් සීමා කිරීමට බලාපොරොත්තු වන බව කොමිෂන් සභාව පවසයි.
එම නව නීති මාලාවේ ඇතුළත් ප්‍රධානතම කරුණු පහත පරිදි වේ.
මැලේසියානු රජයේ නව තීරණයට අනුව වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් ආරම්භ කිරීම හෝ පවත්වාගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම් වේ. (මෙය මැලේසියාව තුළ මිලියන 8කට වඩා පරිශීලකයින් සිටින Facebook, Instagram, TikTok සහ YouTube වැනි ප්‍රධාන පෙළේ සියලුම සමාජ මාධ්‍ය ජාල සඳහා අදාළ වේ).
2. නිල ලේඛන මඟින් වයස තහවුරු කිරීම (Mandatory Age Verification)
ජූනි 1 සිට ක්‍රියාත්මක වන ළමා ආරක්ෂණ කේතය (Children’s Protection Code) සහ අවදානම් අවම කිරීමේ කේතය (Risk Mitigation Code) යටතේ, සමාජ මාධ්‍ය පරිශීලකයින් තමන්ගේ වයස තහවුරු කළ යුතු වේ.
මේ සඳහා පරිශීලකයින්ට තමන්ගේ ජාතික හැඳුනුම්පත (ID Card), විදේශ ගමන් බලපත්‍රය (Passport) හෝ රජය විසින් පිළිගත් වෙනත් නිල ලේඛනයක් සමාජ මාධ්‍ය ජාල වෙත ඉදිරිපත් කිරීමට සිදු වේ.
නව ගිණුම් ආරම්භ කිරීමේදී මෙන්ම, දැනට පවතින (Existing) ගිණුම් සඳහාද මෙම වයස් තහවුරු කිරීමේ ක්‍රියාවලිය අනිවාර්ය වේ. වයස තහවුරු කිරීමට අපොහොසත් වන ගිණුම් අත්හිටුවීමට හෝ වසා දැමීමට (Closed) කටයුතු කෙරේ.
(කෙසේ වෙතත්, දැනට පවතින ගිණුම් සඳහා මෙම තාක්ෂණය සකස් කර ගැනීමට සමාජ මාධ්‍ය සමාගම් වෙත යම් සහන කාලයක් [Grace Period] ලබා දීමට රජය තීරණය කර ඇත).
3. අහිතකර අන්තර්ගතයන් පාලනය සහ වගකීම (Content Governance)
සමාජ මාධ්‍ය සමාගම් විසින් තම ප්ලැට්ෆෝම් තුළ සිදුවන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වඩාත් දැඩි වගකීමක් ගත යුතු බවට නීති පනවා ඇත.
ව්‍යාජ සහ සකස් කරන ලද දේවල්:
කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් වෙනස් කරන ලද හෝ වෙනත් ආකාරයකින් ව්‍යාජ ලෙස සකස් කරන ලද අන්තර්ගතයන් (Manipulated content) නිසි ලෙස ලේබල් (Label) කළ යුතු වේ.
දැන්වීම් සත්‍යාපනය:
අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචා (Scams) වැළැක්වීම සඳහා පළ කරන වෙළෙඳ දැන්වීම්කරුවන් කවුදැයි නිසි ලෙස තහවුරු කැර ගත යුතුය.
ක්‍ෂණික ප්‍රතිචාර:
පරිශීලකයින් විසින් සිදු කරන පැමිණිලි හෝ අහිතකර දෑ (සයිබර් බුල් කිරීම්, වංචා, ළමා අපචාර ආදී දේ) වාර්තා කළ සැනින් ඒවා ඉවත් කිරීමට වඩාත් කාර්යක්ෂම පියවර ගත යුතුය.
මෙම තීරණයට හේතුව කුමක්ද?
පසුගිය වසර කිහිපය තුළ අන්තර්ජාලය හරහා සිදුවන හානිකර ක්‍රියාකාරකම්වල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් මැලේසියානු රජය මෙම තීරණය ගෙන තිබේ.
මැලේසියානු රජය පවසන පරිදි, මෑත කාලයේදී සමාජ මාධ්‍ය හරහා සිදුවන මූල්‍ය වංචා (Online Scams), සයිබර් හිංසන (Cyberbullying) සහ ළමුන් ඉලක්ක කර ගනිමින් සිදුවන අපරාධ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. 2026 වසරේ මුල් මාස 4 තුළ පමණක් මැලේසියාවෙන් අන්තර්ජාල වංචා සිද්ධීන් 23,367ක් වාර්තා වී ඇති අතර ඉන් සිදු වූ පාඩුව මැලේසියානු රින්ගිට් මිලියන 680කට අධිකය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මැලේසියාව 2026 වසරේ සිට ‘සමාජ මාධ්‍ය බලපත්‍ර ක්‍රමවේදයක්’ (Licensing Framework) ද ක්‍රියාත්මක කැර ඇති අතර, නව ජූනි 1 නීති මාලාව එහිම තවත් දිගුවක් ලෙස ළමා ආරක්ෂාව වෙනුවෙන්ම හඳුන්වා දී තිබේ.
(Source- The Leader)
