
සැකකාර අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට “කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යෑමට” සිදු වූ බව ජාතික නීනීඥ සජීවනී අබේකෝන් ඊයේ (22) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවසුවාය.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්යක්ෂ නීනීඥ සජීවනී අබේකෝන් අධිකරණයට කරුණු දක්වමින් එසේ පැවසුවේ, බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුකාරය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් “තමන්ව දූෂණය කළ” බවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පිළිගත හැකි සාක්ෂි සහිතව දැරිය ප්‍රකාශ කැර ඇති තත්ත්වයක පොලිසිය සැකකාර හිමියන් රැඳී සිටින විහාරස්ථානයට ගොස් ප්‍රකාශ ලබාගෙන උන්වහන්සේ මුදාහැර ඇති බව ද නීතීඥවරිය පැවසුවා ය.
විත්තියේ කරුණු දැක්වීම
නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කෙළේ, මූලික විමර්ශන අවසන් කැර, එහි ලිපිගොනු ඉදිරි උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කැර ඇති බවයි.
සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ අතර, විමර්ශන අවසන් බවත්, නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේවාට බලපෑම් කරන බවට කියන කතා අසත්‍ය බැවින් ඕනෑ ම ඇප කොන්දේසියක් මත තම සේවාදායක හිමිනම මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න, බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ මුදලට චේතනාන්විතව ම තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කැර සිටි වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කෙළේ ය.
වැඩිදුරටත් විස්තර :
පල්ලේගම හේමරතන හිමිට නියම කළ ඇප කොන්දේසි මොනවා ද? සිද්ධියට සම්බන්ධ කරුණු රැසක් අධිකරණයේදී හෙළි වෙයි
(Source- The Leader)
