Impartial news reporting for a stronger democratic society
කුපිත වූ පිරික් කොංගෝවේ ඉබෝලා රෝහලක් ගිනි තබති

කොංගෝ ජනරජයේ නැඟෙනහිර ප්‍රදේශයේ ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ‘රුවන්පරා’ (Rwampara) රෝහලට කඩා වැදුණු කුපිත වූ පිරිසක් එහි හදිසි ඉබෝලා හුදෙකලා ප්‍රතිකාර කුටි (Isolation Wards) ගිනිබත් කැර තිබේ.

ඉබෝලා වෛරසය වැළඳීමෙන් මියගිය බවට සැක කෙරෙන දේශීය ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයකුගේ දේහය, අවසන් කටයුතු සඳහා ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීම රෝහල් බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම මෙම නොසන්සුන්කාරී තත්ත්වයට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

මියගිය පුද්ගලයාගේ ශරීරයෙන් වෛරසය අනෙක් අයට ශීඝ්‍රයෙන් බෝවීමේ දැඩි අවදානමක් පවතින බැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) උපදෙස් මත ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ දේහය භූමදානය කිරීමට බලධාරීන් උත්සාහ කර තිබේ. එහෙත් මියගිය ක්‍රීඩකයාගේ මව ප්‍රකාශ කර ඇත්තේ තම පුතා මියගියේ ටයිෆොයිඩ් උණ වැළඳීමෙන් මිස ඉබෝලා වැළඳීමෙන් නොවන බවයි.

මෙම තත්ත්වය හමුවේ රෝහලට එකතු වූ සිය ගණනක පිරිසක් රෝහල් ගොඩනැගිලිවලට ගල් ප්‍රහාර එල්ල කරමින් හදිසි ප්‍රතිකාර සඳහා සකස් කැර තිබූ කූඩාරම් (Tents) දෙකක් සම්පූර්ණයෙන්ම ගිනිබත් කැර ඇති අතර, එහිදී තවත් භූමදානය කිරීමට සූදානම් කැර තිබූ දේහයක් ද ගින්නට හසුවී තිබේ.

පවතින දැඩි උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර, වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් වහාම හමුදා ආරක්ෂාව කැඳවීමට ද පියවර ගෙන ඇත.

මෙම කලබලකාරී අවස්ථාවේදී ප්‍රතිකාර ලබමින් සිටි ඉබෝලා රෝගීන් 6 දෙනෙකු පළාගොස් ඇති බවට සැක කෙරුණ ද, වෛද්‍ය පුණ්‍යායතන පවසන්නේ ඔවුන් සියලු දෙනා මේ වන විට නැවතත් රෝහල භාරයේ ප්‍රතිකාර ලබන බවයි.

දැනට කොංගෝ රාජ්‍යය තුළ ඉබෝලා ආසාදිත මරණ සංඛ්‍යාව 150 ඉක්මවා ගොස් ඇති අතර සැකකටයුතු රෝගීන් 600කට අධික පිරිසක් සිටින බව අනාවරණය වෙයි. මෙම වෛරස් ව්‍යාප්තිය ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) නැමැති දුර්ලභ ඉබෝලා ප්‍රභේදයක් නිසා සිදුවන්නක් වන අතර, ඒ සඳහා මෙතෙක් සාර්ථක එන්නතක් සොයාගෙන නොමැති වීම විශේෂත්වයකි. වෛරස් අවදානම හේතුවෙන් අසල්වැසි උගන්ඩාව ද කොංගෝ දේශසීමා හරහා සිදුවන සියලුම පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp