Impartial news reporting for a stronger democratic society
පේරාදෙණිය සරසවියට අධිකරණ නියෝගයක් : – මහාචාර්ය තිලකරත්නට වැඩවරදී !

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය හා සිසුන් ලිංගිකත්වය මත පදනම් වූ හිරිහැරයන්ට හා ලිංගික හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා වන සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එම විශ්වවිද්‍යාලයට සහ එහි පාලක සභාවට උපදෙස් නිකුත්  කැර ඇත.
 පරිවාස කාල සීමාවේදී සහ පශ්චාත් උපාධිය  හදාරමින් සිටියදී 2017 වසරේ ජුලි මස 01 වැනි දා සහ 2018 වසරේ අප්‍රේල් මස 30 වැනි දා දක්වා කාල සීමාවේදී ලිංගික හිරිහැර සහ මානසික හිරිහැරවලට භාජන වූ බව සඳහන් කරමින්, ආචාර්ය ඩබ්ලිව්.ඒ.එම්. උදාරි එල් . අබේසිංහ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කැර එහි තීන්දුව ලබාදෙමින් එම විශ්වවිද්‍යාලයට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දුන් උපදෙස් වල මේ බව සඳහන්ය.

පළමු වන වගඋත්තරකරු වන මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්නට ඕනෑම විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ආයතනයක හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක වැටුප් ලබන හෝ වැටුප් රහිත ගෞරවනීය තනතුරක් පිළිගැනීම තහනම් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කැර තිබේ. එමෙන්ම වැටුප් සහිත හෝ වැටුප් රහිත හෝ ගෞරවනීය පත්වීමක් වගඋත්තරකාර මහාචාර්යවරයාට ලබාදීමෙන් වැළකී සිටීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සියලුම විශ්වවිද්‍යාල සහ එම විෂය පථයට අයත් අනෙකුත් ආයතනයන්ට විනිසුරු මඩුල්ල නඩු තීන්දුව මඟින් උපදෙස් දී ඇත.

ප්‍රියන්ත ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි යන විනිසුරුන්ගේ එකඟත්වය සහිත නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ප්‍රකාශයට පත් කෙළේය.
මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්න, විශ්වවිද්‍යාලයේ පාලක සභාව ඇතුළු පිරිසක් මෙහි වග උත්තරකරුවෝ වෙති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) උ ව්‍යවස්ථාව අනුව ඕනෑම පුරවැසියකුට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තමන් කැමති රැකියාවක නිරත වීමට ඇති මූලික අයිතියක්  තහවුරු කැර ඇති අතර, ලිංගික හිංසනයන්ට භාජනය නොවී සිටීමට පරිසරයක් තිබිය යුතු බව එම නඩු තීන්දුවෙහි දැක්වේ.
පෙත්රිසම්කාරිය එම විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍යවරියක් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන බව සඳහන් වේ.

වගඋත්තරකාර මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්නගේ අධීක්ෂණය යටතේ ඇය එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පශ්චාත් උපාධිය හැදෑරූ බව සඳහන් වේ. එම අවස්ථාවේදී වග උත්තරකාර මහාචාර්යවරයා ලිංගික හිරිහැර සහ මානසික හිරිහැරවලට ඇයව භාජනය කළ  බව සඳහන් කරමින් පෙත්මසමකාරියගේ මව  විශ්වවද්‍යාලයේ උප කුලපති වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, එය විභාග කිරීමට  2018වසරේ සැප්තැම්බර් මස 26වැනි දා විශ්වවිද්‍යාලයේ උපකුලපති පරීක්ෂණ කමිටුවක් පත් කැර ඇත.

එහිදී වග උත්තරකාර මහාචාර්යවරයාට එල්ල වූ  ඇතැම් චෝදනා වලට ඔහු වරදකරු බවට  තීරණය කර එම කමිටු වාර්තාව විශ්වවිද්‍යාලයේ පාලක කවුන්සිලයට ඉදිරිපත් කැර තිබේ.
එහෙත් එම කවුන්සලය විසින් එම වාර්තාව 2020 වසරේ මැයි මස 30 වැනි දා ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කැර ඇති අතර, ඊට  එරෙහිව පෙත්සම්කාරිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කැර තිබේ.
 අනතුරුව මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබූණි.
පෙත්සම්කාරිය මුල් අවස්ථාවේදී නොපැමිණි බැවින් ඇයගේ ඉල්ලීම කාලාවරෝධී බවට පෙත්සම් විභාගයේ දී ඉදිරිපත් වූ මූලික විරෝධතාවය අධිකරණය පිළිගෙන තිබේ.
එහෙත් සාධාරණත්වය සහ සමානාත්මතාවය යන මූල ධර්මය යටතේ සාධාරණ යැයි හැඟෙන නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් ඇති අතර ඒ අනුව මෙම උපදෙස් නිකුත් කරන බව නඩු තීන්දුවෙහි වැඩි දුරටත් සඳහන් වේ.

(සටහන | නෙල්කා මැදගෙදර)
Nelka Medagedara
‘ද ලීඩර්’ අධිකරණ වාර්තාකාරිනී
nelindum41@gmail.com

Follow by Email
LinkedIn
Share
WhatsApp