
ජර්මනියේ නාසි හමුදාව යටත් කරමින් දෙවැනි ලෝක මහා යුද්ධය නිමාවට පත් වු දිනය සිහිපත් කරන 81 වැනි ‘ජයග්‍රහණයේ දිනය’ (Victory Day) මැයි මස 9 වැනි දා රුසියාව පුරා උත්සවශ්‍රීයෙන් සමරනු ලැබූ බව මොස්කව් නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත පවසයි.
අර්ධ වශයෙන් අන්තර්ජාලය අහුරා දමමින් සහ දැඩි ආරක්ෂක රැකවල් මැද මෙවර මොස්කව් නුවරදී ජයග්‍රහණයේ ජාතික දිනය සමරනු ලැබුවේ වසර 5කට වඩා දීර්ඝ කාලයක් ඇදී යන යුක්රේන යුද ගැටුමට කෙටි සටන් විරාමයකට එකඟවීමෙන් පසුව බව Cyber World Press විශේෂ නියෝජිත අනාවරණය කරයි.

මෙවර ජයග්‍රහණයේ දිනය සැමැරීමේ විශේෂත්වය වන්නේ දශක දෙකකට පසු පළමුවරට රුසියාව සුපුරුදු හමුදා ශක්තිය විදහා දක්වන අවිආයුධ හෝ උපකරණ ප්‍රදර්ශනය නොකිරීමයි.
රතු චතුරස්රයේදී ජයග්‍රහණයේ ජාතික දින සාම්ප්‍රදායික දේශනය සිදු කළ ජනාධිපති ව්ලැදිමිර් පුටින් ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත කැප කළ සෝවියට් හමුදා සෙබළුන්ගේ නිර්භීතභාවයට රුසියාව ඉහළින්ම ගරුත්වය පුද කරන බව ප්‍රකාශ කළ බවත්, පොළපාළිය ට සහභාගිවූවන්ට සුබ පැතීමට ද අමතක නොකළ බව මොස්කව් නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත පවසයි
ජයග්‍රහණයේ දිනයට හේතු වූයේ වසර 1945 මැයි මස 8 වැනිදා නාසි හමුදාවේ අණදෙන නිලධාරී ෆීල්ඩ් මාර්ෂල් විලේම් කේට්ල් කොන්දේසි විරහිතව යටත්වීමේ පනතට අත්සන් තැබීමය. යුරෝපීය වේලාවෙන් එදින රාත්‍රී 10.43ට ෆීල්ඩ් මාර්ෂල්වරයා ගිවිසුමට අත්සන් තබන විට මොස්කව් නුවරට මැයි 9 වැනිදා උදා වී තිබූ අතර, යුද්ධය අවසන් වූ බවත්, සතුරන් යටත් වූ බවත් ජනතාව දැනගත්තේ එදින උදෑසනය. සැබැවින්ම දෙවැනි ලෝක යුද්ධය අවසන් වීම සෝවියට් ජනතාවට විශ්වාස කළ නොහැකි පුවතක් විය. එබැවින් යුද්ධයේ පළමු ජයග්‍රහණය සැමරීම එදිනම සිදු විය. එබැවින් රුසියානුවන්ට එය ජීවිතය මතින් ලද යුද ජයග්‍රහණයකි.
යුද්ධයෙන් දිවි අහිමිවූ සෝවියට් වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 27කට ආසන්න ය. නාසි හමුදාව යටත් වීම පිළිබඳ සියුම් සතුටකින් පසුවුවද, සිය ආදරණීයයන්ගේ වෙන්වීමේ වේදනාව රුසියාවේ වැඩිහිටියන්ගේ සිත් තුළින් මැකී යෑමට දශක ගණනාවක්ම ගත විය. එබැවින් නාසි හමුදාව යටත් වීමේ ජයග්රාහි දිනයේ මුල්කාලීන සැමරුම් උත්සව බොහෝ සෙයින් සීමිත විය.
ජයග්‍රහණයේ දිනය වාර්ෂික සැමරුම් උත්සවයක් ලෙස නිල පිළිගැනීමට ලක්වූයේ වසර 20කට පසුවය. 1965දී එවකට සෝවියට් නායක ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් මැයි 9 වැනිදා සෝවියට් රුසියාවේ ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර, ජයග්‍රාහී දින හමුදා පෙළපාළි පැවැත්වීමට ද පියවර ගත්තේය.
ක්‍රෙම්ලීනයේ ඉදිකර ඇති නාඳුනන සොල්දාදුවන්ගේ සොහොන් ස්මාරකය අබියස මල් වඩම් තැබීමේ සම්ප්රදාය ආරම්භ වූයේ ද ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්ගේ පාලන සමයේදීය.
සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු සෝවියට් උරුමයන් සම්බන්ධයෙන් රුසියාව අභියෝගයකට ලක්වුවත්, මැයි 9 වැනිදා ජයග්‍රහණයේ ජාතික දිනය ලෙස සැමරීම සම්බන්ධව රුසියාවට අභියෝග කිරීමට නම් කිසිවකු ඉදිරිපත් නොවීය.
එබැවින් ජයග්‍රහණ පෙළපාළි පැවැත්වීම, නාඳුනන සොල්දාදුවාගේ ස්මරාකයට උපහාර කිරීම වැනි සාම්ප්‍රදායික සිදුවීම් අදටත් ඒ අයුරින්ම සිදු කීරීම විශේෂත්වයක් බව Cyber World Press විශේෂ නියෝජිත පවසයි .

