
පසුගිය 2025 වසරේ සිට දකින්නට අසන්නට ඇති කාරණාවක් වන්නේ මෝඩිගේ ඉන්දීය ආර්ථික ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් සී ජින්පිං ගේ චීනය කලින් මෙන් ලාංකීය ආර්ථිකයට මැදිහත් නොවන්නේ යැයි වන කාරණව ය.
උපතින්ම ඉන්දීය විරෝධයක් තිබූ ජ.වි.පෙහි වත්මන් නායක ජනාධිපති අනුර කුමාර ගේ ආණ්ඩුව ආරම්භයේදී චීනය සමඟ ඉතා සමීප රාජ්‍ය සම්බන්ධකම් පමණක් නොව, දේශපාලන පක්ෂ සම්බන්ධකම්ද පැවැත්වූ නමුත් 2025 වසරේ පළමු කාර්තුව අවසනයේ පමණ සිට, ඔවුන්ගේ දේශපාලනයෙහි ඒ වෙනුවට විවෘත ඉන්දියානු නැඹුරුවක් දකින්නට හැකිය.

එහි පසුබිමෙහි ඇත්තේ, අගමැති නරේන්ද්‍ර මෝඩිගේ කලාපීය දේශපාලනයට හවුල්වන ඔහුගේ ඉතා සමීප විශ්වාසවන්තයෙකු වන ගෞතම් අඩානිගේ යෝධ ව්‍යාපාරික ආයෝජන ය. අඩානි ඉන්දියාවේ යෝධ ව්‍යාපාරිකයෙකු ලෙස මතු වන්නේ නරේන්ද්‍ර මෝඩි ගුජරාත් මහ ඇමති සමයේ ලබා දුන් ආධාර හා අනුග්‍රහ ඇතිව ය. අනෙක් අතට ගුජරාතයේ මෝඩි ඉන්දියානු දේශපාලනයේ ප්‍රබලයෙකු වන්නේ අඩානිගේ ආර්ථික අනුග්‍රහ සමග ය. අඩානිගේ බොහෝ ලාංකීය ව්‍යාපාරික මැදිහත්වීම් මෝඩිගේ අනුග්‍රහය ඇතිව සිදු කෙරුණු ආයෝජනය. ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි බටහිර කොළඹ බහලුම් පර්යන්තයේ කොටස් සියයට 51 ක් සමග බහුතර අයිතිය ලබා ගත් අඩානි, ඩොලර මිලියන 840 ක් එහි ආයෝජනය කර ඇත. “අඩානි හරිත ශක්ති සමාගම” 2024 දී ශ්‍රී ලංකාව සමග වසර 20 ක ද්වි-පාර්ශවීය වාණිජ ගිවිසුමක්ද අත්සන් කර ඇත.
ඉකුත් අවුරුදු 40 ට වැඩි කාලයක සිට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධ දෙරට අතර ඇතිවූ එකඟතා හා සිංහල සමාජයේ, වැඩිමනත් ජ.වි.පෙ විරෝධතා හමුවේ ඒවා කඩාකප්පල් කිරීම් සමඟ පැවති අවිනිශ්චිත පසුබිම 2022 ආර්ථික බිඳ වැටීම සමඟ ඉන්දියානු බලපෑමට යටත් වින. ඒ ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ඩොලර බිලියන 04 ට ආසන්න ආර්ථික සහනාධාර අපට ලබා දී ඇත. එවැනි බැඳීමක් ඇතිව, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි 99 න් 14 ක් වෙනුවෙන් 2023 දී ඉන්දියානු ඉන්ධන සංස්ථාව සමඟ අවුරුදු 50 ක කල් බදු ගිවිසුමක් අත්සන් කරනු ලැබිණ. තවත් තෙල් ටැංකි 61 ක් ඉන්දියානු ඉන්ධන සංස්ථාව සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අතරවන ඒකාබද්ධ ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබා දෙන ලදී. එම සංකීර්ණයෙහි ආරම්භ කෙරෙන ඕනෑම වාණිජ කටයුත්තක් වෙනුවෙන් ඒ දෙපාර්ශවයේ අනුමැතිය අවශ්‍ය වන්නේය.
ලාංකීය විදේශ ආයෝජන සැළකූ විට 2025 වසර අවසානයේ සිංගප්පූරුවට පසු වැඩිම ඩොලර ආයෝජන වන බිලියන 02.2 ක් ආයෝජනය කර ඇත්තේ ඉන්දියාව ය. අපගේ ලොකුම ආධාරකරු වූ චීනයෙන් වැඩිම උදව් උපකාර ලැබුණේ 2018 ට පෙර කාලයේ ය. ඉන්පසු හම්බන්තොට වරාය, කොළඹ “වරාය පුරවරය” වැනි ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට ආයෝජන ලැබිණ. 2025 මැයි මාසයේදී කොළඹට කැඳවනු ලැබූ ව්‍යාපාරික ආයතන 77 ක් සහභාගි වූ “චීන වාණිජ හා ආයෝජන සම්මන්ත්‍රණය” සාර්ථක නොවුනි. ඩොලර බිලියන 03.7 ක ආයෝජනයක් සහිත හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීම තවම ආරම්භවී නැත. ඇණහිට ඇති යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට චීන එක්සිම් (විදේශ විනිමය) බැංකුවෙන් ඩොලර මිලියන 500 ක ණය මුදලක් ලබාදී ඇත.

ප්‍රවේශමෙන් බලන විට, මෑත භූ-දේශපාලනයෙහි ලංකාව සම්බන්ධ චීන අවධානයේ අඩුවීමක් දකින්නට හැක. එවගේම ප්‍රවේශමෙන් බැලීමේදී ඉරාන – ඇමෙරිකා – ඊශ්රායෙල යුධ ගැටුම් සමඟ අරාබිකරයට, චීනය වැඩි අවධානයක් යොමු කරන බවක් දැකිය හැක. ලෝක ඉන්ධන අර්බුදය, විශේෂයෙන් ඉරානය විසින් හෝමුස් සමුද්‍රවංකය අවහිර කිරීම නිසා ආසියානු වෙළෙඳපොළට ඉන්ධන හා ගෑස් ප්‍රවාහනය කිරීම් අඩාල වීම, අරාබිකරය වෙත වැඩි චීන අවධානයක් යොමු වන්නට හේතු වන්නේ ය. ඉරානයට පනවා ඇති සම්බාධක නොතකා ඉරාන තෙල් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයක් මිලට ගන්නා චීනය, එමගින් ඉරාන ආර්ථිකය නඩත්තු කරන අතරතුර, හෝමුස් සමුද්‍රවංකය ඉන්ධන හා ගෑස් ප්‍රවාහනය වෙනුවෙන් විවෘතව තබා ගැනීමට ඉරානයට හා ඇමෙරිකාවට බල කරන්නේය. හෝමුස් සමුද්‍රවංකය හරහා ඉන්ධන හා ගෑස් ප්‍රවාහනයේදී ඒ වෙනුවෙන් ගාස්තු අය කිරීමෙන් ඉරානය ආදායමක් ලබා ගන්නා අතර, ඉන්ධන හා ගෑස් සම්බන්ධ සියලු ගනුදෙනු චීන යුආන් මුදලින් සිදුවිය යුතුයැයි තීන්දු කර ඇත. ගෝලීය ඉන්ධන අලෙවියෙහි එවැනි “චීනකරණය” වීමක් සමඟ අ2මෙරිකානු ඩොලරයෙහි වටිනාකම බාල්දු වන්නේය.
අනෙක් පැත්තෙන් ඔවුන් ඉන්දියාව සමඟ වෙළෙඳ හා වාණිජ සම්බන්ධතා වර්ධනය කැර ගන්නා අතර, 2020 දී ගල්වාන් මිටියාවතේ ඇතිවූ දේශ සීමා ගැටුම් සමග බිඳ වැටුණු රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු යථාවත් කැර ගැනීමටද පියවර ගෙන ඇත. 2024 අවසන් වන විට දෙරට විදේශ කටයුතු ඇමැතිවරුන් අතර සාකච්ඡා පැවතින. ආරක්ෂක ඇමතිවරුන් අතරද සාකච්ඡා තිබිණ. ඊට අමතරව, ඉන්දු-චීන දේශ සීමා ගැටලුව විසඳා ගැනීමේ වගකීම බාර දී ඇති ඉන්දියානු ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් හා චීන විදේශ ඇමති වං යී අතරද සාකච්ඡා පැවතින.
මේ තොරතුරු වලට අනුව, ඔවුන් තහනම්කර තිබූ තිබ්බත වන්දනා ගමන් සඳහා 2025 ජුලි මාසයේ සිට අවසර දී ඇත. දෙරට “මායිම් ගංගා” සම්බන්ධ තොරතුරු හා දත්ත බෙදා හදා ගැනීමට හා මාධ්‍ය වැඩසටහන් හුවමාරු සඳහාද එකඟව ඇත. නව දිල්ලිය හා බෙයිජිං අතර සෘජු ගුවන් ගමන් දැනටත් ආරම්භ කැර ඇත.
වෙළෙඳ හා වාණිජ කටයුතු සැළකූ විට, එතෙක් ඉන්දියාවේ විශාලම ගනුදදෙනුකරු වූ අමෙරිකාව පසුකර චීනය 2025-2026 මූදල් වර්ෂයේදී ලොකුම ගනුදෙනුකරු බවට පත් විය. ඩොලර බිලියන 151 ට වැඩි ද්වි-පාර්ශවීය වෙළෙද ගනුදෙනුවක් දෙරට අතර සිදුව ඇත. ඉන්දීය නිෂ්පාදන සඳහා චීන රසායනික ද්‍රව්‍ය, විද්‍යුත් හා විදුලි උපාංග, විදුලි යන්ත්‍රෝපකරණ මත විශාල වශයෙන් යැපීම හේතුවෙන් චීන ආනයන සඳහා වියදම ඩොලර බිලියන 132 ක් පමණ විය. (The Economic Times – 2026 අප්‍රේල් 15) මේ අප කතා කරන්නේ ලොව විශාලම ජාතික ආර්ථික තුනෙන් දෙකක් ලෙස පිළිගැනෙන රටවල් දෙක අතර දැන් සිදුවන වෙළෙඳ ගනුදෙනු සම්බන්ධව ය.
මෙතෙක් විවෘතව කතා නොවුනත් මේ ද්වි පාර්ශවීය ගනුදෙනු අතර අනාගතයට වඩාත්ම බලපාන්නාවූ කාරණාව වන්නේ, ගෝලීය ඩොලර වෙළෙඳපොළ ක්‍රමානුකූලව යුආන් හෙවත් රෙන්මින්බි සමඟ “චීනකරණය” වීමේ නව හැඩ ගැසීමය. ඉන්දු-ඇමෙරිකානු වෙළඳ ගනුදෙනු ඉන්දු-චීන වන විට, ඒ වෙළෙඳාම් යුආන් වෙළෙඳ ගනුදෙනු බවට පත් වන්නේය. 1970 දසකයේ ආරම්භක වසරවල ඇමෙරිකාව හා සවුදි අරාබිය ඇතිකර ගත් ගිවිසුමක් අනුව, ඔපෙක් (OPEC) ඉන්ධන අලෙවිය අමෙරිකානු ඩොලර මත කෙරුණු වෙළෙඳාමක් වූ අතර, එම ඩොලර නැවත අමෙරිකානු ආර්ථිකයෙහි ආයෝජන කළ යුතු විය. එබැවින් එයට “පෙට්‍රො ඩොල” යැයි යෙදුමක්ද එකතු විය. “පෙට්‍රො ඩොල” අමෙරිකානු ආර්ථිකයෙහි ආයෝජනය කිරීම වෙනුවෙන්, අමෙරිකාව අරාබි රටවල් සඳහා ආරක්ෂාව සහතික කෙළේය.
වසර 50 ක් පමණ “පෙට්‍රො ඩොල” සමග ගෝලීය ඉන්ධන අලෙවියෙහි පැවති අමෙරිකානු ආධිපත්‍ය ඉරානයට එරෙහි යුධ ගැටුම් සමඟ අවසන්වීමට පටන් ගෙන ඇත. අරාබි රටවල පැවති අමෙරිකනු හමුදා කඳවුරු ඒ රටවල අනාරක්ෂාවට හේතු වන්නේ යැයි ඒ සියල්ලම පාහේ ඉරානයට එරෙහි යුද්ධය හමුවේ ඉවත්කර ගැනීමට සිදුව ඇත. ප්‍රධාන ඉන්ධන නිෂ්පාදකයකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) මෙවර මැයි පළමු දින සිට ඔපෙක් සංවිධානයෙන් ඉවත්වන බැව් නිල වශයෙන් ප්‍රකාශ කළේ ඒ පසුබිමෙහි ය. ඔවුන් ඔපෙක් නිෂ්පාදන සළාක ක්‍රමය අතහැර ස්වාධීන සැළසුමක් අනුව තම නිෂ්පාදන වැඩි කිරීමට අපේක්ෂා කරන්නේ යැයි කීවේය. පසුගිය දසකයක කාලයේ ඉන්දුනීසියාව, කටාර්, එකුඅඩෝරය හා ඇංගෝලාව එළෙස ඔපෙක් සාමාජිකත්වය අත හැරි රටවල් ය.

වත්මන් ඉරානයට එරෙහි යුද්ධය හමුවේ, චීනය ගෝලීය ඉන්ධන වළෙඳපොළට පය ගැසීමත් සමඟ දුර්වල වන “පෙට්‍රො ඩොල” අභිබවා චීන යුආන් ශක්තිමත් වීමක් පෙන්නුම් කරන්නේය. චීන ආර්ථිකයෙහි නිෂ්පාදන භාණ්ඩ විවිධත්වය හා වෙනත් රටවල කාර්මික නිෂ්පාදන සඳහා උපාංග හා කොටස් නිෂ්පාදන පසුගිය අඩ දසකයෙහි ගෝලීය වෙළෙඳාපොළෙහි යුආන් වෙළෙඳාම් ලෙස වර්ධනය කර ගැනීමක් පෙන්වන්නකි. ගෝලීය වෙළෙඳාමෙහි චීන පංගුව ඉරානයට එරෙහි යුධ පසුබිමෙහි තහවුරු වීමක් දැන් දැකිය හැකිය.
එවැනි සන්දර්භයක, චීන වානිජ හා වෙළද ගනුදෙනු සමග දියුණු කෙරෙන ඉන්දීය ආර්ථිකයෙහි එක් පිටාර ගැලීමක් ඇත්තේ ලාංකීය ආර්ථික-දේශපාලන හැඩ ගැසීමෙහිය. ලාංකීය භූ-දේශපාලනයෙහි ඉන්දියානු මැදිහත්වීමට ඉඩ තබා, වඩා බලවත් ආර්ථික-දේශපාලනික අනාගතයක් වෙනුවෙන් සී ජින්පිං ගේ චීනය ඔවුන්ගේ යුආන් මුදල් පමණක් නොව, ඉරානයට ලබා දෙන යුද ආම්පන්නද රැගෙන අරාබිකරයට පය ගසන අයුරු දැන් දකින්නට හැකිය. ඉන්දීය සාගරයේ භූ-දේශපාලනය ඉන්දියාව සමඟ හැසිරවීමේ එකඟතාවකට පැමිණීමේ චීන උපාමාර්ගයක් එහි තිබිය හැක. ඔවුන් ලංකාව ගැන තව දුරටත් ලොකු උනන්දුවක් නොපෙන්වන්නේ එනිසා විය යුතුය.
(උපුටා ගැනිම-The Leader)

(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 මැයි 02 වන දින
