
කියුබාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරන ලෙසත්, එරට අභ්‍යන්තර කටයුතුවලට බාහිරින් මැදිහත් නොවන ලෙසත් ඉල්ලා මෙක්සිකෝව, ස්පාඤ්ඤය සහ බ්‍රසීලය යන රටවල් තුන එක්ව ඊයේ (18) නිල නිවේදනයක් නිකුත් කැර තිබේ.
ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චෙස්, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ මෙක්සිකෝ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බාම් අතර බාර්සිලෝනා නුවර පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම ප්‍රකාශය නිකුත් කැර ඇත.
එමෙන්ම කියුබාවේ අනාගතය තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය එරට ජනතාවට හිමිවිය යුතු බවත්, එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුව රාජ්‍යයන්හි ස්වෛරී සමානතාවයට ගරු කළ යුතු බවත් මෙම රටවල් අවධාරණය කැර සිටි.
කියුබාව මුහුණ දී සිටින දැඩි බලශක්ති සහ ආහාර හිඟය ඇතුළු මානුෂීය අර්බුදයෙන් මිදීම සඳහා සම්බන්ධීකරණය කරන ලද මානුෂීය ආධාර ලබාදීමට මෙම රටවල් මෙහිදී පොරොන්දු විය.
කියුබාවේ වර්තමාන අර්බුදකාරී තත්ත්වයට අමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික අවහිරතා (blockade) හේතු වී ඇති බව පෙන්වා දුන් මෙම රටවල්, දෙපාර්ශ්වය අතර ගෞරවනීය සංවාදයක් ඇති කැර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.
මෙම තීරණය මගින් ලතින් ඇමරිකානු සහ යුරෝපීය ප්රගතිශීලී නායකයින් කියුබාව කෙරෙහි පවතින විදේශීය බලපෑම්වලට එරෙහිව සිය සහයෝගීතාවය ප්‍රකාශ කැර ඇති බව අනාවරණය වේ.

