
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්රාන්තයේ සන්නද්ධ කණ්ඩායම් සහ රජයේ හමුදාව අතර සිදුවන ගැටුම් හේතුවෙන් මේ වසරේදී පුද්ගලයන් 453 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බලුකිස්තාන ටයිම්ස් පුවත් සේවය සඳහාන් කළ බව එහි සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.
පාකිස්තාන ආරක්ෂක අංශ නිකුත් කැර ඇති දත්තවලට අනුව මියගිය අය අතර, සිවිල් වැසියන් 248 දෙනකු සහ ආරක්ෂක නිලධාරීන් 205 දෙනකු සිටින බව සඳහාන්ය.
බලුකිස්ථාන ප්රාන්තයේ මානව හිමිකම් කවුන්සිලය ප්රකාශ කැර ඇති අන්දමට පසුගිය මසය ඇතුළත බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් 234ක් සිදුවී ඇති බව නිවේදනය කැර ඇත. මෙම මාසය ඇතුළත ප්රචණ්ඩ ක්රියා නිසා 87ක් ඝාතනය වී ඇති බව ප්රාන්තයේ මානව හිමිකම් කවුන්සිලය තව දුරටත් පෙන්වා දෙයි.
අතුරුදන්වූවන් අතර කාන්තාවක් සහ යොවුන් තරුණයන් 9 දෙනකු සිටින බව ද අනාවරණය වෙයි. අතුරුදන්වූවන්ගෙන් 37 දෙනකු පසුව නිදහස ලබා පැමිණ ඇති බවත්, සෙසු පිරිස පිළිබඳ මෙතෙක් කිසිදු හෝඩුවාවක් නැති බවත් බලුකිස්තාන මානව හිමිකම් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කැර තිබේ.

බලුකිස්තාන ප්රාන්තයේදී රජයේ හමුදාවට ප්රහාර එල්ල කිරීම සහ බෝම්බ පිපිරීම් ඇතුළු සිදුවීම් ඉහළ ගොස් ඇති අතර, එවැනි ගැටුම්කාරි සිදුවීම් 432ක් ද මේ වසරේදී වාර්තා වී තිබේ.
බලුකිස්තානයේ විමුක්ති හමුදාව සහ රජයේ හමුදාව අතර වසර ගණනාවක් පුරා පවතින යුදමය තත්ත්වය හේතුවෙන් එම ප්රාන්තයේ ජනතාවට මුහුණ පෑමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දැඩි අවධානය යොමු කැර ඇත.
මේ වසරේ ජනවාරි 31 වැනිදා බලුකිස්තාන විමුක්ති හමුදාව නගර රැසක ප්රහාර ගණනාවක් එල්ල කිරීමෙන් පසු පාකිස්තාන රජයේ හමුදාව ඇඳිරි නීතිය පනවා අන්තර්ජාලය ද අත්හිටුවමින් සෝදිසි මෙහෙයුම් සිදු කැර ඇතැයි බලුකිස්තාන පෝස්ට් පුවත් සේවය සඳහන් කැර තිබේ.

