
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් නීතිඥ චමින්ද කුලරත්න වැඩ තහනමට ලක් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් තානාපති කාර්යාල කිහිපයක ද විශේෂ අවධානය යොමුව ඇතැයි අනාවරණය වෙයි.
මේ අනුව ඒ සිද්ධීන් සම්බන්ධයෙන් එම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙමින් සිටින බව දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ සිදුව ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය කාලයේදී පුවත්පත් ඇතුළු මාධ්‍ය කිහිපයකම තොරතුරු වාර්තා පළ වී තිබිණ. එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්ද රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේද මීට ඉහතදී ලිංගික හිංසන සිද්ධියක් වාර්තා වීමෙන් පසු එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරීන් දෙදෙනෙකු සේවයෙන් නෙරපා හැරිණ. ඒ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ගේ මූලිකත්වයෙන් යුතු විමර්ශන කමිටුව බාර දුන් වාර්තාවෙන් කෙරුණු නිර්දේශ අනුවය.

එසේම පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට විවිධ හිංසන සහ වෙනස් කොට සැලකීම් සිදුකර ඇති බවට හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම ගේ මූලිකත්වයෙන් යුතු කමිටුවේ වාර්තාව පැහැදිලිවම පෙන්වාදී තිබිණ. එමෙන්ම හිංසනයට ලක්වූ නිලධාරිනියට සාධාරණය ඉටුකරන ලෙසටද එම වාර්තාවෙන් නිර්දේශ කැර ඇත.
කෙසේ වෙතත් වාර්තාව නිකුත් කැර මාස හතරකට වැඩි කාලයක් ගත වී තිබියදීත්, එහි නිර්දේශ කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කැර නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
( Source-lankadeepa | සුජිත් හේවාජුලිගේ)
