පාසල් පවත්වන කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට ගුරු -විදුහල්පති සංගම් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් විරෝධය පළ කරති. ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ 2026 වසරේ සිට විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කැර ඇත.එම ලිපියට අනුව පාසල් පවත්වන කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට උපදෙස් දී ඇති අතර උදෑසන 7.30 ට ආරම්භ වන පාසල අවසන් වන්නේ පස්වරු 2.00ටය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමවේදය අනුව පාසල් කාලය පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පැය 6ක කාලය තුළ මිනිත්තු 40 කාල පරිච්ඡේද 08ක් ක්‍රියාත්මක විය.නව ප්‍රතිසංස්කරණ යටතේ මිනිත්තු 50 කාල කාලපරිච්ඡේද 07ක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්‍ටාලින් පවසන්නේ, පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීම ආණ්ඩුව තීරණය කෙළේ කුමන පර්යේෂණ දත්ත පදනම් කැරගෙන ද යන්න හෙළි කළ යුතු බවයි.
ගුරු-විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිවකුගේ අදහස් විමසීමකින් තොරව ජාතික අධ්‍යාපන ආයතනයේ කිහිප දෙනෙකුගේ වුවමනාවට ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇති බව ඔහු චෝදනා කරයි.
මෙම තීරණය වහා අකුළා ගන්නා ලෙස ආණ්ඩුව බළ කරන බව පවසන ලේකම්වරයා, එසේ නොකරන්නේ නම් දෙසැම්බර් පාසල් නිවාඩුවෙන් පසු රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කරන බව පවසයි.
මෙවැනි නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට පෙර අත්හදා බැලීමක් කළයුතු බවද කිසිදු අත්හදාබැලීමකින් තොරව අත්තනෝමතිකව දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ආණ්ඩුවට අයිතියක් නැතැයි ද පවසයි.
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර හිමියන් ප්‍රකාශ කරන්නේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ බහුතරයකගේ කැමැත්තතක් නොමැතිව ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක කිටීමට යන මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හකුළා නොගතහොත් ගුරු සංගම් ඊට එරෙහිව පෙළ ගැසෙන බවයි.
මෙලෙස පාසල් කාලය හා කාලච්ජේදයක කාලය දීර්ඝ කිරීම විදානුකූල නොවන බව ද උන්වහන්සේ පවසති.
ආණ්ඩුවේ මෙම තීරණයට එරෙහිව අධාපන ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් බොහෝ පිරිසක් අදහස් දක්වා තිබේ.
එහෙත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති අගමැති හරිනි අමරසූරිය පවසන්නේ ආණ්ඩුව මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කළේ අධාපන ක්ෂේත්‍රයේ සෑම පාර්ශ්වයකින්ම අදහස් විමසීමෙන් පසුව බව ය.පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීම ගැන බිම් මට්ටමෙන් කිසිදු විරෝධතාවක් නොමැති බව ද ඇය පැවසුවා ය.
දුමින්ද ගුරුගේ
