
උසස් තත්ත්වයේ බොරතෙල් බැරල් මිලියන 30ත් – 50ත් අතර ප්‍රමාණයක් අමෙරිකාවට ලබා දිය යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවේ අන්තර්වාර ආණ්ඩුවට දන්වා ඇතැයි මාධ්‍ය සඳහාන් කරයි.
එම බොරතෙල් වෙළෙඳපොළේ පවතින මිලට අලෙවි කැර එහි ආදායම වෙනිසියුලාවේ සහ අමෙරිකාවේ ජනතාවගේ යහපත සඳහා යොදවන බවත් ට්‍රම්ප් ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කැර තිබේ. එම කටයුතු සිය පාලනය යටතේ සිදු කරන බවත්, ඉදිරි මාස 18ක කාලසීමාවකදී වෙනිසියුලාවේ තෙල් වෙළෙඳාම අමෙරිකාව සතුව වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.
එසේම චිනය, රුසියාව, ඉරානය සහ කියුබාව සමඟ පවතින ආර්ථික සම්බන්ධතා නවත්වන ලෙසට ද අමෙරිකානු ජනාධිපතිවරයා වෙනිසියුලාවේ අන්තර්වාර ආණ්ඩුවට දැනුම් දී ඇති අතර, එම රටවලට බොරතෙල් අලෙවි කිරීමෙන් වළකින ලෙසට අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
වෙනිසියුලාව සමඟ දිගුකාලීන සම්බන්ධතා පවතින චීනය එරට විශාලතම බොරතෙල් ගැනුම්කරු ද වන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි ද සඳහාන් වේ. අමෙරිකාව පනවනු ලැබූ සම්බාධක හේතුවෙන් වෙනිසියුලාවේ බොරතෙල් වෙළෙඳාම මේ වන විට දැඩි අර්බුදයකට ලක්වී ඇති අතර, තවදුරටත් බොරතෙල් නිෂ්පාදනය කිරීම දුෂ්කර වී ඇති බැවින් පසුගිය දෙසැම්බරයේ සිට බොරතෙල් ළිං වසා දැමීම ආරම්භ කැර තිබූ බව ද අනාවරණය වෙයි.
