

හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ සිදුවන ඕනෑම අමෙරිකානු මැදිහත්වීමකට කඩිනම් දරුණු ප්‍රතිචාර දක්වන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව අනතුරු අඟවා තිබේ.
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව මෙම අනතුරු ඇඟවීම සිදු කැර ඇත්තේ හෝමූස් යළි විවෘත කිරිම සඳහා අමෙරිකානු නියෝජිතයන් සාම සාකච්ඡාවලදී දක්වන උත්සාහයට ප්‍රතිචාර දක්වමිනි.
එම මුහුදු තීරය ඔස්සේ යාත්‍රා කරන සියලු වෙළෙඳ නැව් ඉරාන හමුදාව නම් කරනු ලැබූ මුහුදු මාර්ගය අනුගමනය කිරීමට බැඳී සිටින බවත්, විකල්ප මුහුදු මාර්ග භාවිත කිරිමට උත්සාහ ගන්නා ඕනෑම නෞකාවකට පහර දෙන බවත් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කැර තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය යනු අමෙරිකාවේ ක්‍රීඩා පිටියක් නොවන බවත්, එය ඉස්ලාමීය ඉරාන ජනරජයේ ස්වෛරීභාවයට අයත් භුමියක් බවත් නිවේදනයක් නිකුත් කරමින් ඉරාන ආරක්ෂක හමුදාව ප්‍රකාශ කැර තිබේ.
ඉරානයට එරෙහිව ගන්නා ඕනෑම මිලිටරි ක්රියාන්විතයකට දැඩි ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් එම නිවේදනයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත. ඉරානයේ නිදහස, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම සඳහා පූර්ණ සූදානමකින් පසුවන බව ද එරට ආරක්ෂක හමුදාව තව දුරටත් සඳහන් කැර තිබේ.
