
මීගමුව බන්ධනාගාරයේ “ප්‍රචණ්ඩත්වය” ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වෙත ගෙන යන්නේ යැයි ඉන් දිනකට පසු ජුලි 07 වන දා විපක්ෂයේ එකතුවකින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී නීති විශාරද මහාචාර්ය ජී.එල්.පීරිස් පවසා තිබිණ.
ඔහු තව දුරටත් කියා තිබුණේ ඒ සම්බන්ධයෙන් විදේශ තානාපති කාර්යාල, නීති හා අධිකරණ ආයතන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙතටද කරුණු ඉදිරිපත් කරන බවය. මෙවැනි ඛේදවාචකයකට ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වලින් සහ විදේශ තානාපති කාර්යාල වෙත ගොස් ඉල්ලා සිටිය හැකි විසදුම් කවරේදැයි නොදනිමි. පළමු වරට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි නීති විශාරද මහාචාර්ය ජී.එල්.පීරිස් 1994 දී චන්ද්‍රිකා කුමාරණතුංග ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා වූවෙකි.
“අපට අහන්න තියෙන්නේ, අනුර කුමාර විපක්ෂයේ සිටියදී කියුව පරිදි සිරකරුවන්ගේ සහ රැඳවියන්ගේ ජීවිත වලට රජය වගකිව යුතු නිසා මීගමුව බන්ධනාගාර සිද්ධියට මේ රජය (නිවැරදිව නම්, ආණ්ඩුව) වගකිව යුතු නැද්ද? මහරින් වැලිකඩින් පාඩම් ඉගෙන ගත්තේ නැද්ද? නීතිය හා සාමය ස්ථාපනය කිරීමට ඔබට හැකියාවක් නැද්ද? කියලා” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍යවේදීන් අමතා කියා තිබිණ. මහරින් වැලිකඩින් ඔහු ඉගෙන ගත් පාඩම් මොනවාදැයි කිසිවෙකු ඔහුගෙන් ඇසූවේ නැත.
“මීගමුවේ බන්ධනාගාර කැරැල්ලෙන් පෙන්නුවේ ආණ්ඩුවට පාලනයක් ගෙන යන්න බැහැ කියලා. ඒ නිසා වගකීම් බාර ගන්නවා කිව්වට වැඩක් නැහැ. අධිකරණ ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුයි.” මීට ඉහතින් වික්‍රමසිංහ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරිය වූ නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍යයට පවසා තිබිණ.
මෙතෙක් බන්ධනාගාර ඉතිහාසයේ සිදුවූ බරපතලම ජීවිත හා දේපළ හානි ලෙස මීගමුව බන්ධනාගාරයේ දෙදිනක ප්‍රචණ්ඩ ම්ලේච්ඡත්වය සම්බන්ධව සාම්ප්‍රදායික දේශපාලනයෙහි මතු කෙරෙන එවැනි සුපුරුදු හිස් අන්‍යෝන්‍ය චෝදනා මිස, වැදගත් කිසිවක් නැත. මෙතෙක් ආණ්ඩු පාලනයේ සිටි හා දැනට අවුරුද්දකුත් මාස 08 ක් බලයේ ඉන්නා මේ මාලිමා ආණ්ඩුවද සමග සැවොම, මීගමුව ඛේදවාචකය දක්වා බන්ධනාගාර පරිපාලනය ඇතුළු සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයේ පිරිහීමට වගකිව යුතු බව පමණක් ඉන් කියවෙන්නකි. එබැවින් මේ මොහොතේ අප අවධානය යොමු කළ යුතු වැදගත් කාරණාව වන්නේ, බන්ධනාගාර පද්ධතියෙහි පවතින “දැරිය නොහැකි තද බදය” පමණක් නොවේ. මූලික වශයෙන් අවධානය යොමු කළ යුත්තේ නීතිය හා සාමය සුරැකීමේත් නීතිය ක්‍රියාත්මක කිරීමේත් අධිකරණ ක්‍රියාවලියේත් මුල් බැස ඇති ජාතිවාදය, අකාර්යක්ෂමතාව, දියුණු වෘත්තීමය පැවැත්මක් නඩත්තුකර නොගැනීම සහ ඒ මත දෛනික පැවැත්මෙහි අනිවාර්ය සාධකයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සමග වැඩුණ දූෂණ වංචා වගා වීමේ කාරණාවට ය.
සියල්ලන් හවුල් වූ අවුරුදු 50 ක විනාශය
ඊට පිවිසුමක් ලෙස සටහන් කළ යුත්තේ ‘80 දසකය ආරම්භ වනවිටද බන්ධනාගාර වෙත සොරෙන් රැගෙන යනු ලැබුවේ සිගරට් සහ බීඩි බණ්ඩල යැයි කියාය. එකල සිරකරුවන්ට සිගරට් සහ බීඩි අවශ්‍ය වූයේ ඔවුන්ගේ පෞද්ගලික පාවිච්චියටම නොවේ. වැසිකිළියට, ස්නානය කිරීමට වැඩිපුර වතුර බාල්දියක් ගෙන්වා ගැනීමට, වැඩි-සීනි තේ කෝප්පයක් ඉල්ලා ගැනීමට, රාත්‍රී නිදා ගැනීමට පැදුරු කෑල්ලක් සොයා ගැනීමට ගාස්තු වශයෙන් ගෙවනු ලැබුයේ සිගරට් හා බීඩි ය. ඒවායෙන් එකල ජාවාරම් නොකෙරුණි.
ලාංකීය සමාජයේ ඒ වන විට අනතුරුදායක මත්ද්‍රව්‍ය ඇබ්බැහියක් නොවුනි. “මත්ද්‍රව්‍ය භාවිතය හා සමාජ ජීවිතයේ වෙනස” සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ විශ්ව විද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ ප්‍රධානී එන්. මැන්දිස් විසින් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධ කාර්යාලය වෙනුවෙන් 1985 ජනවාරියේ ප්‍රකාශයට පත් කළ අධ්‍යනයකට අනුව, “අනෙක් අසල්වැසි රටවල මෙන් ශ්‍රී ලංකාවේද හෙරොයින් අබ්බැහිය මෑතක ඇති වූවකි. මේ වනවිට, බොහෝ නගර කේන්ද්‍රීයව සහ රටේ සංචාරක ප්‍රදේශවල හිරිහැරයකින් තොරව හෙරොයින් ලබාගත හැකි බවක් දැකිය හැකි විය…….සංචාරක ව්‍යාපාරයේ ව්‍යාප්තිය හා ජන ජීවිතයේ සීඝ්‍රයෙන් ඇතිවන සමාජ-ආර්ථික වෙනස්කම් ශ්‍රී ලංකාවේ හෙරොයින් ප්‍රචලිත වීමට හේතු වෙනවා විය හැකිය.”
ඉන් කියැවෙන මූලික හා ප්‍රධානම කාරණාව වන්නේ, 1978 න් පසු අප 80 දසකයට පිවිසෙන විට ලාංකීය ජන ජීවිතයේ සීඝ්‍රයෙන් වෙනස්කම් ඇති කිරීමට හේතු වුනු විවෘත වෙළදපල ආර්ථිකය, අන්තරායකර මත්ද්‍රව්‍ය ජාවරම් සඳහා ගැලපෙන පරිසරයක් නිර්මාණය කළ බවත් සංචාරක ව්‍යාපාරය ඊට දායක වූ බවත් ය.
දැන් නිරන්තරයෙන් වාර්තා වන අයුරු බන්ධනාගාර වලට ගෙන යනු ලබන්නේ සිගරට්-බීඩි නොව ලොකු ලාභ සහිත අන්තරායකර මත්ද්‍රව්‍ය වේ. හිරිකිතයකින් තොරව හිතු මනාපෙට මිනිස් ඝාතන කරන්නාවූ තිරිසන් පාතාල කණ්ඩායම්ද හවුල් වන මත්ද්‍රව්‍ය ජාවාරම්, බන්ධනාගාර වල හිඳිමින්ද සංවිධානය කෙරේ. ඊට අමතරව බන්ධනාගාර වලද මත් ද්‍රව්‍ය අලෙවි කෙරෙති. මීගමුවේ මේ ප්‍රචණ්ඩ ලේ වැකි ගැටුම් එවැනි මත් ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් දිග හැරුණකි.
බන්ධනාගාර තුල වැලිකඩ-මීගමුව වැනි ප්‍රචණ්ඩ මිනිස් ඝාතන වලට පසුබිමක් නිර්මාණයවී ඇත්තේ බන්ධනාගාර පාලනයේ පිරිහීමද සමගින් ය. ඒ පිරිහීම බන්ධනාගාර පරිපාලනයට සීමා වූවක්ද නොවේ. සමස්ථ රාජ්‍ය පාලනයම මහජාතිවාදී, අකාර්යක්ෂම, නාස්තිකාර හා දූෂිත රාජ්‍ය පාලනයකි. එවැනි පිරිහුණු දූෂිත රාජ්‍ය සේවාවක නීතිය ක්‍රියාත්මක කිරීමේ හා අධිකරණ ක්‍රියාවලියෙහි පමණක් පිරිසිදු පාලනයක් තිබිය නොහැක. දූෂණ හා පිරිහීම් සමග බන්ධනාගාර නිලධර පාලනයෙහි ජාතිවාදය සමග දූෂණය මුල්බැස ඇති ආකාරය මතක් කිරීමට විවෘත වෙළදපල ආර්ථිකය සමග පැමිණි මෙම සිදුවීම් කිහිපය සටහන් කළ යුතු යැයි සිතුවෙමි.
■ මීට අවුරුදු 43 ට පෙර, 1983 ජුලි දෙමළ ජන සංහාරය හමුවේ, වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ සිරකරුවන් 53 කු ජුලි 25 වන දින සහ 27 වන දින වල, සිංහල සිරකරුවන් විසින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කරනු ලැබිණ.
■ ඉන් වසර 04 ට පසු, 1997 දෙසැම්බර 12 වන දින අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස සැළකෙන කළුතර බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ලකදී දෙමළ දේශපාලන සිරකරුවන් 03 කු සිංහල සිරකරුවන් විසින් ඝාතනය කරනු ලැබිණ.
■ බණ්ඩාරවෙල බිඳුණුවැව රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි දෙමළ තරුණ රැඳවියන්ගෙන් 26 කු 2000 ඔක්තෝම්බර 24 වන දින කැති, පොලු, මුගුරු රැගත් සිංහල ගම්වැසියන් රැඳවුම් මධ්‍යස්ථානයට කඩා වැදී ඝාතනය කරනු ලැබිණ. එහි වූ හමුදා කාණ්ඩය කලින් දින රාත්‍රියේ ඉවත් කරනු ලැබ, සිංහල ගම්වැසියන්ට එරෙහිව මැදිහත් වන්නට පොලිසිය සූදානම් නොවුනි.
■ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර 09 වන දින ඇතිවූ සන්නද්ධ ගැටුමකින් 27 කු මිය ගිය බැව් සනාථ විය. ගැටුමට හේතුවී ඇත්තේ අනවසර, අනීතික භාණ්ඩ සෙවීමේ මෙහෙයුමට බන්ධනාගාර බලධාරීන්ගේ සහායට සන්නද්ධ පොලිස් කොමාන්ඩෝ භටයින් කැඳවීම යැයි වාර්තා විය.
■ 2020 නොවැම්බර 29 සහ 30 දෙදිනේ මහර බන්ධනාගාර රැඳවියන් හා පොලිසිය අතර ඇතිවූ ගැටුමෙහි නිමිත්ත වූයේ වෙනත් බන්ධනාගාරවල කොරෝනා ආසාධිත සිරකරුවන් හා රැඳවියන් මහර බන්ධනාගාරයට මාරු කිරීමට පාලනාධිකාරිය තීන්දු කර ඇතැයි වූ කාරණාවය. එම ගැටුමෙන් 11 කු මිය ගිය අතර තවත් 117 කු බරපතල ලෙස තුවාල වූ බැව් වාර්තා විය.
මේ ඛේදවාචක වලට හේතු වූ කාරණා අතර වෙනස්කම් ඇතත් අද හුවා දැක්වෙන බන්ධනාගාරවල ඇති බරපතල තදබදය එදා නොවුනි. එනිසා ඒ ඇසුරෙන් අපට ගත හැකි වැදගත්ම පොදු පාඩම වන්නේ, 2000 බිඳුණුවැව හා 2012 වැලිකඩ ඝාතන හැරුණු විට මේ මිනිස් ඝාතන සම්බන්ධව කිසිදු ස්වාධීන පරීක්ෂණයක් පවත්වා නොමැති හෙයින් එවැනි අපරාධ සඳහා ආණ්ඩු විසින් නොනිල අනුමැතියක් දී ඇති බවය.
බිඳුණුවැව ඝාතන සම්බන්ධයෙන්ද දිස්ත්‍රික් අධිකරණයකින් වරදකරුවන් කෙරුණු පොලිසියේ නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරනු ලැබිණ. වැලිකඩ 27 කු ඝාතනය කිරීමට අදාලව නඩු පවරනු ලැබුවේ 08 කු ඝාතනය කිරීම සම්බන්ධයෙන් 03 කුට පමණි. තෙවන සැකකරු වූ බන්ධනාගාර නිලධරයෙකු නීතියට වසන්ව සිටියේය. වැලිකඩ ඝාතන වලින් වසර 10 ට පසු 2022 ජනවාරියේදී පළමු සැකකරු, පොලීසියේ මත්ද්‍රව්‍ය අංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව පූර්ණ ලෙස නිදහස් කෙරිණ. දෙවන සැකකරුවූ මැගසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරි එමිල් රංජන් ළමාහේවාට මරණ දණ්ඩනය නියම විය. කොළඹ මහ අධිකරණයේ තීන්දුව අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ ළමාහේවා, කොළඹ මහ අධිකරණ තීන්දුව සතුවූ බරපතල දෝස හමුවේ 2024 අගෝස්තුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 05 ගේ මඬුල්ලකින් නිදොස් කොට නිදහස් කරනු ලැබිණ.
ඒ සමග බන්ධනාගාරවල සිදුවූ ම්ලේච්ඡ ඝාතන 05 න් පරීක්ෂණ පවත්වා නඩු පැවරූ සිදුවීම් දෙකේද අවසානයේ ඝාතන සම්බන්ධ වරදකරුවන් කිසිවකු නොවුනු හෙයින් ඒ ඝාතන සියල්ලෙහි වරදකරුවන් යැයි කිසිවකු නැත.
අලුත් සාධකය සීඝ්‍රයෙන් වැඩිවන තදබදය-ලු
බන්ධනාගාර ඝාතන සම්බන්ධයෙන් ඉතිරිව ඇති එවැනි වූ දේශපාලන යතාර්ථයක, මේ වනවිට, මීගමුවේ සමූහ ඝාතනවලට හේතුව බන්ධනාගාරවල අධික තදබදයට ලඝු කෙරෙනවා දැකිය හැකිය. ඝාතන සිදුවූ දෙදිනෙහි දකින්නට නොසිටි අධිකරණ ඇමති ඊට පසු දිනම ගාල්ල මහමෝදර නව බන්ධනාගාරයක් ඉදිකිරීමට ගැසට් පත්‍රයක් නිකුත් කළේය. මහනුවර නගරයෙන් පිටතට ගෙන ගොස් තිබූ බෝගම්බර බන්ධනාගාරය තිබියදී, නගර මධ්‍යයේ ඇති බෝගම්බර ගොඩනැගිල්ලෙහි නැවතත් බන්ධනාගාරයක් ආරම්භ කළේය.
පළමුව කිව යුත්තේ, මීගමුව බන්ධනාගාරයේ සමූහ ඝාතන ආරම්භ වන්නේ, “තදබදය” හේතුවෙන් නොවේ. එය “ඇයි ඇඟේ හැපෙන්නෙ?” යැයි අසා ඇති වූ රණ්ඩුවක් නොවේ. එය වතුර බාල්දියකට, පැදුරු කෑල්ලකට ඇති වූ රණ්ඩුවක් නොවේ. එය බන්ධනාගාර නිලධාරීන්ද හවුල් වන්නට ඇතැයි චෝදනා කෙරෙන බන්ධනාගාරයෙහි වන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් හට ගත්තකි. පසුදින උදයටත් පිටාර ගැලූ දෙපිළ බෙදුණු ප්‍රචණ්ඩ රණ්ඩුවට අනතුරුව බන්ධනාගාරයේ අනෙක් ප්‍රශ්න සමග රත් වෙමින් තිබූ අසහනයද ගොනු වීම ස්වභාවිකය. පිරිමි අංශයේ බරපතල ප්‍රචණ්ඩත්වයක් මෝදු වන අතර, සෞඛ්‍ය පහසුකම් ඉල්ලා කාන්තා රැඳවියන් බන්ධනාගාරයේ වහලට නැග විරෝධය දැක්වූවා වැනිය.
බන්ධනාගාර තදබදය, ගොඩනැගිලි සම්බන්ධ ගැටළුවට එහා යන්නකි. දළ වශයෙන් ස්ත්‍රී-පුරුෂ සිරකරුවන් හා රැඳවියන් 11,000 ට ප්‍රමාණවත් ලාංකීය බන්ධනාගාර පද්ධතියෙහි පසුගිය ජුනි මස අවසන් වන විට “ලෝක බන්ධනාගාර සංක්ෂිප්ත සටහනට” (World Prison Brief) අනුව 42,000 ක් වූහ. මේ බරපතල තදබදයට උත්තරය, අලුතින් බන්ධනාගාර හැදීම නොවේ. මේ බරපතල තදබදයට විසදුම් සෙවීමට, තදබදයට හේතු සොයා ගත යුතුය.
මේ සිරකරුවන් හා රැඳවියන් 42,000 න් 31,000 ක් නඩු ඇසීමට දින නියම නොවුනු සහ ඇප මත නිදහස් නොවුනු තාවකාලික රැඳවියන් ය. “තාවකාලික” යැයි කියූවත් අවුරුදු ගණන් ඇප නොලැබ ඉන්නා විශාල සංඛ්‍යාවක් ඒ අතර ඇත. එනිසා ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්වන නීතිඥයින්ද ඒවාට වගකිව යුතු යැයි මම කියමි. ඇප සම්බන්ධ කතාවද ඛේදවාදකයකි. නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාද නිසා රැඳ වියන් ලෙස ඉන්නට සිදුව ඇති අවාසනාවන්තයින් බොහෝ ඇත. ඇප නොලැබ බන්ධනාගාරයේ අවුරුදු 02 ට වැඩි කාලයක් රඳවා ගෙන ඉන්නා ඇතැමුන්ට ඇති චෝදනා වෙනුවෙන් ඔවුන් වදරකරුවන් වූවත් ඔවුන්ට නියම කෙරෙන උපරිම දඬුවම අවුරුදු 02 ක සිර දඬුවමකි. තවත් අයට රිමාන්ඩ් බන්ධනාගාරයේ එළෙසින් ඉන්නට සිදුව ඇත්තේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය වාර්තා නොලැබීම නිසා ය. තවත් අයට පරීක්ෂණ අවසන් නොමැති යැයි පොලීසිය ඇප දීමට විරුද්ධවන නිසා ය. නීතිඥයින් තාර්කිකව පොලීසියේ විරෝධය අභියෝග නොකිරීමද ඊට හේතු වන්නේය. තවත් කාරණාවක් වන්නේ, නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදය ය. චෝදනා ගොනු කිරීම, නීති උපදෙස් ලබා දීම හා නඩු වාර්තා ප්‍රමාදවීම නිසා නඩු අවසන් නොවීම ය. එවගේම, මහේස්ත්‍රාත්වරුන් විසින් ඇප දීම සඳහා උපරිම කොන්දේසි පැනවීම නිසා, ඒවා සැපිරීමට නොහැකි අය විශාල සංඛ්‍යාවක්ද ඇත.
අලුත් ගොඩනැගිලි වෙනුවට අලුත් පිවිසුමක්
නඩු ඇසීමට දින නියම නොවුනු, චෝදනා ගොනු නොකෙරුණු සහ ඇප කොන්දේසි සම්පූර්ණ කරගත නොහැකිව ඉන්නා 31,000 ක් පමණ වන මේ තාවකාලික රැඳවියන් සඳහා අවශ්‍ය වන්නේ අලුත් බන්ධනාගාර ගොඩනැගිලි නොවේ. සති අග විශේෂ මහේස්ත්‍රාත් හා දිස්ත්‍රික් අධිකරණ සැසි වාර කිහිපයක් පැවැත්වීමෙන් මාසයක් ඇතුළත ඔවුන්ගෙන් දෙකෙන් පංගුවක් පුද්ගල ඇප මත හෝ පූර්ණ ලෙස නිදහස් කළ හැකිය. රඳවා තබා ගෙන ඉන්නා තවත් අය සඳහා ඇප ලබාදී ඔවුන්ගේ නඩු නිමිත්ත සමථ මණ්ඩල වෙත යොමු කළ හැක. මාධ්‍යවේදීන්ගේ වගකීම් විරහිත වාර්තා හා ලේබල් ගැසීමේ තුට්ටු දෙකේ මාධ්‍ය භාවිතය විසින් සියල්ලන් “කුඩුකාරයින්” යැයි කියූවත් කුඩුවලට ඇබ්බැහි වූවන් යොමු කළ යුත්තේ බන්ධානාගාර වෙත නොව, පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙතය.
සැබෑව නම්, ආණ්ඩුවේත් විපක්ෂයේත් ඉහළ නිලධර පැලැන්තියේ වාගේම සමාජ මත හසුරුවන විද්වත් පිරිස් අතරත් විසඳුම් සෙවීමේ එවැනි යොමුවක් නැත. රෝගීන් වැඩිවන විට රෝහල් ඇඳන් වැඩි කිරීම, ඇඳන් සඳහා ඉඩ මදි වනවිට රෝහල් වාට්ටු ඉදි කිරීම වාගේ “ප්‍රජා නිවාරණය” (Community Prevention) වෙනුවට කොන්තරාත් සමග මුදල් ගැවසෙන “ඉදිකිරීම්” ඔවුන්ගේ විසඳුම්ය. ඔවුන් යොමු වන්නේ පහසුම උත්තරය වන තව තවත් බන්ධනාගාර ගොඩනැගිලි ඉදිකිරීමට ය. එය අපරාධ වගා කිරීමක් මිස අපරාධ නිවාරණය සඳහාවන විසඳුමක් නොවේ යැයි අවධාරණයෙන් යුතුව කිව මනාය.
එනිසා සමාජ ව්‍යසනයකට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් අවශ්‍ය වැදගත් දැනුවත් සමාජ කතිකාවක් සඳහා මම මෙවැනි පියවර කිහිපයක් යෝජනා කරමි.
- ස්ත්‍රී හා බාල වයස්කාර දැරිවියන් දූෂණය, ළමා හිංසන, ළමා අපචාර, කප්පම් ගැනීම්, මිනීමැරුම් ආදී අපරාධ වලට එරෙහි සමාජ මත සැකසීම සඳහා පාසල් කේන්ද්‍රීය අධ්‍යාපනික වැඩසටහන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, කාන්තා කාර්යාංශය, නීතිඥ සංගමය හා ජාතික හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ සියල්ල ඒකාබද්ධව, ප්‍රසිද්ධ කෙරෙන කාල සටහනක් අනුව දියත් කිරීම
- 1999 අංක 46 දරණ ප්‍රජා මූල නිවැරදිකිරීමේ පනත (Community Based Correction Act) අනුව පත් කරනු ලබන කොමසාරිස්වරුන් සහ ඔවුන් යටතේ වන නියෝජ්‍ය හා සහකාර කොමසාරිස්වරුන්ගේ නම් හා බල ප්‍රදේශ ප්‍රසිද්ධ කිරීම මෙන්ම පනතේ ප්‍රකාර එහි ඇතුළත් සියලු නීති ප්‍රතිපාදන සක්‍රීය ලෙස බලාත්මක කිරීම
- සමථ මූල මණ්ඩල පත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රජා කේන්ද්‍රීය ක්‍රියාදාමයක් බවට පත් කරමින් දේශපාලනයෙන් තොර සංවිධාන වෙත සාමාජිකයින් යෝජනා කිරීමේ පවතින බලය, බලප්‍රදේශයේ පුරවැසියන්ටද ලබා දීම හා පත් කිරීමට පෙර යෝජිත නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීම
- සති අග විශේෂ මහේස්ත්‍රාත්/දිස්ත්‍රික් අධිකරණ සැසි වාර කිහිපයක් පැවැත්වීමෙන් ඇප නොලැබ බන්ධනාගාරයේ මාස 06 ට වැඩි කාලයක් රඳවා ගෙන ඉන්නා සියල්ලන් ඥාතියෙකු සමග පුද්ගල ඇප මත වහා නිදහස් කිරීම
- උපරිම දඬුවම වසර 02 ක සිර දඬුවමක් වන වරද වලට නඩු නිමිත්ත උසාවියට යොමු නොකර සමථ මණ්ඩල වෙත යොමු කිරීම සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් වහා පුනරුත්ථාපනයට යොමු කිරීම
මෙම යෝජනා කිහිපය ඉදිරි වසර කිහිපයකට සීමා වන යෝජනා බැව් කිව යුතුය. ඒ අතර කාලයේ දුර දිග යන සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයට අදාල ප්‍රතිසංස්කරණ මාලාවක් පිළිබඳ වැදගත් සමාජ කතිකාවකට මා සිතන අයුරු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් විශ්ව විද්‍යාල නීති පීඨත් වෘත්තිකයින්ගේ සම්මේලනයත් (OPA) හවුල්ව මුල පිරිය යුතුය.
ඉතිරිය සඳහා ඔබ සැමට ඉඩ තබමින් මම නතර වෙමි.

(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 ජුලි 11 වැනි දින
