
- ශ්‍රී ලාංකිකයන් දිනපතා මද්‍යසාර සඳහා රුපියල් මිලියන ගණනක් වැය කරති
- මද්‍යසාර භාවිතයෙන් වසරකට පුද්ගලයන් 20,000ක් මියයති
- දිනකට 55ක් මියයන බවත් අනාවරණය වෙයි
- මද්‍යසාර මිලදී ගන්නන්ගෙන් සැලකිය යුතු පිරිසක් අඩු ආදායම්ලාභී ප්‍රජාවන්
ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් මිලියන 560ක් පමණ මත්පැන් සඳහා වැය කරන බවත්, මත්පැන් භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයන් 20,000ක් පමණ මිය යන බවත් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සඳහාන් කරයි.
මත්පැන් සහ මත්ද්‍රව්‍යවල ඇති අහිතකර බලපෑම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවති වැඩසටහනකදී, මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අධ්යක්ෂ අමරරත්න තෙන්නකෝන් මහතා මෙම තොරතුරු අනාවරණය කෙළේය.
අමරරත්න තෙන්නකෝන් මහතා තවදුරටත් මෙසේ අනාවරණය කැර තිබේ.
දිනකට මරණ 55ක් පමණ සිදු වෙනවා. මත්පැන් මිලදී ගන්නන්ගෙන් සැලකිය යුතු පිරිසක් අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට අයත් වෙනවා. මෙම පිරිස් දෛනික වියදමෙන් වැඩි කොටසක් වැය කරන්නේ මත්පැන් හා මත්ද්‍රව්‍ය සඳහා පමණයි.
අපේ ජනගහනයෙන් 20%ත් 22%ත් අතර ප්‍රමාණයක් නිරන්තරයෙන් මත්පැන් පානය කරනවා. ස්ත්‍රී පුරුෂ භාවය අනුව බලන විට, පිරිමින්ගෙන් 43%ක් සහ කාන්තාවන්ගෙන් 12%ක් මත්පැන් පානය කරනවා. මෙම තත්ත්වය, ගෝලීය වශයෙන් පෙනෙන්නට ඇති තත්ත්වයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් වෙනවා.
‘Institute for Health Metrics and Evaluation’ (IHME) ආයතනයේ නවතම දත්ත විශ්ලේෂණයට අනුව, 2010 සහ 2024 අතර කාලය තුළ මත්පැන් භාවිතයෙන් සිදුවන මරණවල වයස අනුපාතය (age-standardised rate) ආසන්න වශයෙන් 26%කින් පහත වැටී තිබෙනවා.
‘International Alliance for Responsible Drinking’ (IARD) සංවිධානය 2026 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කළ දත්තයන්ට අනුව පෙනී යන්නේ , මත්පැන් භාවිතය නිසා ඇතිවන ආබාධිත තත්ත්වයන් හේතු කොට ගෙන අහිමි වන ජීවිත සංඛ්‍යාව (disability-adjusted life years) 23% ක් පමණ වන බවයි.
කෙසේ වෙතත්, මත්පැන් භාවිතය ගෝලීය මහජන සෞඛ්‍ය ක්ෂේත්රයට එල්ලවන ප්‍රධාන අභියෝගයක් . ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2019 දී ප්‍රකාශයට පත් කළ දත්තයන්ට අනුව මත්පැන් භාවිතය හේතුවෙන් ලොව පුරා සිදුවන මරණ සංඛ්‍යාව මිලියන 2.6ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇතැයි ඒ් මහතා වැඩිදුරටත් සඳහාන් කෙළේය.
